Friday, December 30, 2011

කැම්පස් එක ඇතුලේ මොකද උනේ...???

 
පවුරු වළල්ල පටන් ගත්තේ කවි ලියන්න විතරක් නෙවෙයි. මම දකින දේශපාලන හා සමාජීය වටපිටාව ගැනත් ලියන්න. ඇත්තටම මේක අපේ කැම්පස් එකේ වුන සිදුවීමක්. නමුත් අපි හිතුවේ පිට මිනිස්සු මේවා ගැන අවධානය යොමු කරන්න කිසිම නැඹුරු තාවයක් නොදක්වපු හින්ද ඒ ගැන වැඩි සද්දයක් දාන්න ඕනේ නෑ කියල. නමුත් අපි නොදන්නවා උනාට මේ ගැන නොයෙක් අභූත දූසමාන ආරංචි වෙබ් වල ගිහින් තියෙනවා. මිනිස්සු බොරු දැනගන්නවට වඩා ඇත්ත දැනගන්න එක හොඳ හින්ද මේ විදියට ලියන්න හිතුවේ.ඇත්තටම මම දැන් දුක් වෙනවා මම මේ ගැන මීට කලින් බ්ලොග් නොකරපු එක ගැන.
         
           මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ  පළමු වසරේ සිසුවෙක් විදියට මම සප්තම්බර් මාසේ 3 වැනිදා ඇතුලත් වෙද්දී රැග් එක ගැන කිසිම බයකින් නෙවේ මම ඇතුලත් වුනේ. අදටත් මම විශ්වාස කරනවා අපේ වී.විද්‍යාලෙට ඇතුල් වෙන කිසිම කෙනෙක් රැග් එක ගැන බය වෙන්න ඕනේ නෑ කියල. අපි ඇතුලත් වෙන දවසේ අපේ සීනියර් අයියල අක්කල අපිව ඇත්තටම ආදරෙන් පිළිගත්තා. ඒක අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා අපිට මූනිච්චාවට පෙන්නන කුහක ආදරේ වගේ එකක් හෙම නෙවේ. හදවතින්ම අපි අපේ නංගිලා මල්ලිලට කරන ආදරේ වගේ එකක්. පළවෙනිම දවසේ අපිව සීත ගඟුල නොහොත් වී.වී. යේ බුදු පිළිමය ගාවට එක්ක ගිහින් වන්දනා කෙරෙව්වා. ඒ කරේ එතන අන්‍යාගමික ශිෂ්‍යයන්ට කැමති නම්  ඉවත් වෙන්න කියල. එහෙම නැතුව කොල්ලෝ බල්ලෝ හැමෝම හමුදා මුලස්ථානයේ පුහුණුවට යාම අනිවාර්ය කරා වගේ දරදඬු විදියට හෙම නෙවෙයි.
          පහුවදා  කණ්ඩායම් වශයෙන් හැමෝවම පුස්තකාලෙට සහ මෙඩිකල් සෙන්ටර් එකට එක්ක ගියා. තව වී.වී. වටේ රවූමක්‌ එක්කන් ගියා. එක කෙරෙව්වේ අපේ සීනියර්ස්ල මිසක් උසස් අධ්‍යාපන ඇමතිතුමවත් අන්තිමට අපේ අයියල අක්කලාගේ පන්ති තහනම් කරපු වී.වී. පරිපාලනයේ ලොක්කෝවත්  නෙවෙයි. ඒ වගේම අපිට අධ්‍යාපන කටයුතු වලදීත් බාහිර වැඩ වලදීත් සැහෙන්න උදවු කරේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ම තමයි.

 මම මේ ඔක්කොම දේවල් කියල ප්‍රවේශය ගත්තේ වී.වී යේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ කියන්නේ නවකයන්ව රැග් කරන්න බලන ඉන්න අපතයෝ රැලක් කියල සමාජගත වෙලා තියෙන මතය මේක කියවන අයගේවත් හිතින් මකල දාන්න ඕනේ හින්දා සහ මම මේ කියන්න යන කතාවට මේ සිදුවීම් වැදගත් වෙන හින්ද. 

මම මුලින්ම කිව්වා වගේ අපේ අයියලා අක්කලා අපිට තමන්ගේම මල්ලිලා නංගිලට වගේ ආදරේ කර කියන කතාව ශ්‍රී ලංකේය සමස්ත වී.වී. පද්ධතිය තුල වී.වී සම්ප්‍රදායන් පවතින තාක් කල දුරට වලංගුයි. (ඒක නැති කරන්න නම් මේ වී.වී පද්ධතිය මකල මුල ඉඳල හදන්න ඕනේ. වර්තමානයේ කරන්න යන්නෙත් ඒකම තමා).
          දැන් මම මේ කතාවේ අන්තිම කොටසට ලඟා වෙනවා. 

          අපි මාස 2-3 ක් අයියල අක්කල එක්ක කිසිම අවුලක් නැතුව ඉද්දි හෙන ගැහුවා වගේ කතාවක් අපිට අහන්න ලැබුන. ඒ තමයි ශිෂ්‍යයන් 13 දෙනෙක්ට වී.වී සීමාව තහනම් කරලයි කියන එක. ඒ අතරට අපේ වැඩිමහල් ශිෂ්‍යයන් 12 දෙනෙක් හා අපේ වසරේ ශිෂ්‍යයෙකුත් ඇතුලත් වුනා. නවක ශිෂ්‍යයන් වශයෙන් අපව නවක වදයට භාජනය කිරීම හා එයට අනුබල දීමේ චෝදනාව යටතේ ඔවුන් වරදකරුවන් කර තිබුනා. නමුත් නවක වදය ලෙසට අර්ථ දැක්විය හැකි කිසිදු සිදුවීමක් තොරතුරු තාක්ෂණ පීඨයේ සිදු නොවුණු බවට අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

එහෙම නම් අනිවාර්යයෙන්ම ඔබ මේ සිද්ධියේදී අසාධාරණයට ලක්වුන ශිෂ්‍යන්ගේ පැත්ත ගත යුතුයි.

                මේ සිදුවීම අන්තර්ජාලය තුල lankaevision වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුනේ අපව අමානුෂික ලෙස වදහිංසා වලට නවක වදය යටතේ පත් කර තිබෙනවා කියලයි. ඒ වගේ දෙයක් සිදු වුනා නම් එයට එරෙහිව මුලින්ම නැගී සිටින්නේ අපේ වසරේ ශිෂ්‍යයනුයි. නමුත් අපි දැන් වගකීමෙන් යුතුව කියන්නේ ඒවගේ කිසිම දෙයක් අපේ පීඨයේ කිසිම සිසුවෙක්ට සිදු නොවුණු බවයි. ඒ හැරුණු විට gossip9 වෙබ් අඩවියත් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කර තිබුන. අන්තර්ජාලය තුල හෝ කුමන හෝ මාධ්‍යයක් තුල ප්‍රවෘතියක් වාර්තා කිරීමේදී තිබිය යුතු වගකීම් සහගත බව ඔවුන් විසින් මුළුමනින් ම අතහැර දමා තිබුනා. අපේ තොරතුරු තාක්ෂණ පීඨයේ කීර්ති නාමයට නිගා කරන මේ ප්‍රවෘතිය සම්පූර්ණ බොරුවක් බව එම පීඨයේ සිසුවන් වශයෙන් තරයේ ප්‍රකාශ කර සිටිනවා. යම් හෙයකින් මෙම සිදුවීමට අදාලව මෙවැනි අසත්‍ය ප්‍රචාර ඔබට අන්තර්ජාලය තුලදී හමු වුනොතින් එයට එරෙහිව කතා කරන්න පසුබට වෙන්න එපා.  ඒ වගේම අසාධාරණ විදියට පන්ති තහනමට ලක් උන අපේ අයියල අක්කල වෙනුවෙන් හඬක් නගන්න අපිත් ඕනෙම මොහොතක පැකිලෙන්නේ නෑ.


http://www.lankaevision.com/lankaevision/index.php?option=com_content&view=article&id=217%3A2011-12-28-15-38-59&catid=1%3Alatest-news&Itemid=50

Thursday, November 24, 2011

ආදරය අනුමාපනය කරා හොඳින් සොලවා...

මේකත් මම සිත සන්තොසින් උ.පෙළ කරන කාලේ ලිව්ව පැදි පෙළක්. මගෙ ඒ කාලේ ප්‍රියතම විෂය රසායන විද්‍යාව. අපේ උන් වැඩි හරියක් වෛර කරපුම විෂය! මාත් ටිකක් මඤ්ඤං ඩයල් එකක් හින්දම වෙන්නැති එහෙම උනේ. කොහොමින් කොහොම හරි මම ඒ දවස වල කෙල්ලත් එක්ක පොඩි වලියකුත් දාගෙන හිටියේ. ඉතින් එකෙක් ඇවිත් මට කියද්දී විද්‍යා සංගමේ අහවල් එකට ආටිකල් එකක් දීපන් කියල, මගෙ අතින් ලියවුනේ මේක තමා... හැබැයි මම බොක්කෙන්ම කියන්නන්, මේකේ 100%ක් අයිතිය මට නෑ. ඊට කලින් දවසක මම වෙන පොරකගේ chemistry පොතක් බලද්දී ඌ ලියල තිබුන අදහසක් තමා මම කවියක් කරේ!! ඌ ලියල තිබ්බේ "මම ජීවිතය අනුමාපනය කරා, කෝ මේකේ අන්ත ලක්ෂය??" කියල. මම ජීවිතය වෙනුවට ආදරය replace කරා. ඔන්න මම කාටත් පූර්වාපර සන්ධි ගලපගන්න මුල ඉඳන්ම කතාව කිව්වා...



කැකෑරුම් නලයක බහා,
ත.HNO3 දමා,
1/3 ක් වනතුරු නටවා,
ආදරය අනුමාපනය කරා හොඳින් සොලවා...


තුඩ  කැඩුණු බියුරෙට්ටුව,
ප්‍රසාරිත පිපෙට්ටුව,
ගෙන කලෙමි අනුමාපනය,
කෝ මේකේ අන්ත ලක්ෂය????

මල ඉලවු ආදරය,
කසිකබල් ජීවිතය,
අනුමාපනයට පෙරාතුව,
මුලින් දාපන් දර්ශකය...



ප.ලි. - මෙය ස්වයං දර්ශකයක් රහිත ප්‍රතික්‍රියාවකි. මෙවැනි අනුමාපන සිරාවට කිරීමට ප්‍රථමයෙන්, දල අනුමාපන 2-3 ක්වත සිදුකර අන්ත ලක්ෂය ගැන දල අදහසක් ලබා තිබිය යුතුයි.


Tuesday, November 22, 2011

විඳිමි ධ්‍යානය සහස් කලකට...

මේක මම A/L කරන කාලේ ලිව්ව කවියක්.මම ඇත්තටම නම් ලියන්න හිතුවේ එක අරමුණකට මුළු ජීවිතේම කැප කරපු තාපසයෙක්ගෙ කතාවක් විදියට. නමුත් ටික වෙලාවක් හිතන කොට තමයි තේරෙන්න ගත්තේ සෙක්කුවක ගැට ගහපු ගොන්නු වගේ අපිත් (ඒ කාලේ) පැය 24 ම එක අරමුණක් වෙනුවෙන් නහින විත්තිය. පස්සේ මේක උ.පෙළ කරන ඕන එකෙක්ගේ කතාවක් විදියට ලියන්න හිතුව.


මුලින්ම

පුරා  ආයු කල දුකක් වින්දෙමි,
දිවියේ  අරමුණ පරම සැපත සොය සොය...
නින්ද නුදුටු නෙත් පෙලා දමමින,
පැන් නුදුටු මුව වියලා දමමින...
ගවු ගණන දුර ගියෙමි ගුරුවරුන් සොය සොය,
ධ්‍යානය ලැබ ගනු පිණිස...

ඊළඟට

පසක් කර ගතිමි,
ආ මගින් පළ නැත...
ස්වයන්ජාතවම  ඉපිදවුනු ධ්‍යානය
ලැබගතිමි තනිවම...
නිහඬ අරණක හුදෙකලාවම...
දැහැන්ගත වෙමි...
දැහැන් සුව ලබනෙමි...


අන්තිමට


 සැලෙන කිංකිණි නදින් නෙත් හැරියෙමි...
දැනුන අංජන සුවඳ ඩැහැ ගතිමි...
සිත පුරා ගත පුරා දැහැන් සුව වින්ද ගතිමි,
ධ්‍යානය මෙහිද නැති සෙයකි...