Saturday, January 10, 2015

මහින්ද අපට ඉගැන්වූ දේ..

හිටපු ජනාධිපතිතුමනි,

වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය.
ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්‍යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගරි වැවු තාවුල පර්සියන් අසු පිට සෙල්ෆී ගසන රෝහිතගේ ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට කියාදුන්නේය.
රුපියල් හයසීයේ සපත්තු ජෝඩුව ගත නොහැකිව ගෙල වැලලු දියනියගේ දෙපතූල්. ලුවි විටෝන් සපත්තු කන්දකට වඩා වටින බව බව ඔබ අපට කියාදුන්නෙය.
අව්වට කරවෙවී වැස්සට දියවෙවී හමුද සෙබළා ගොඩගැසූ වැලිකොට්ටය, නාමල් බේබි පැදවූ ලැම්බොගිනියට වඩා මිල බව ඔබ අපට කියාදුන්නේය.
සලමන් ඛාන්ට වඩා, ලූශන් බුලත්සිංහලයන්ට මිනිසුන් ආදරය කරන බව ඔබ අපිට කියාදුන්නේය
නොදන්න සෙබළකුගේ ලේ බින්දිති ඉහිරුනු ගෝඨාභයගේ සුදු කමිසෙන්, එලියට මිරිකුනු බඩවැල් අතදරා සටන් කල සරත් ෆොන්සේකාගේ ලේ තැවරුන මුහුණ වසන්නට නොහැකිබව ඔබ අපට කියාදුන්නේය.
නොදුටු ඩයස්පෝරාවට වඩා, ඇකයේ හොවා කිරි පෙවූ, දෙඇස් මානයේ දත් විලිස්සන කොටියන් හට මිනිසුන් භය වන බව ඔබ අපිට කියාදුන්නේය.
යාල් දෙවිය දුවන සිල්පරං කොට වලින් පමණක්, උතුරෙ දෙමළ හදවත් , දකුණේ සිංහල හදවත් යා නොවන බව ඔබ අපට කියාදුන්නෙය.
පෝයට බෙදන ඔරලෝසුවට, සිල් රේද්දට වඩා, හවසට ගෙදර ඉදේන බත් පතේ බදු බර හිතට දැනෙන බව ඔබ අපිට කියාදුන්නේය.
අතින් අතට මාරු කරමින් කරකවන රන් කොන්ත බෝල වලට වඩා, නායකයකුගේ නිහතමානිත්වයට මිනිසුන් වශීවන බව ඔබ අපිට කියාදුන්නේය.

අවසානයේ,
ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද, ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති බවද, සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගැනීමට පමණක් නොවන බවද, ඔබ අපිට කියාදුන්නේය.

-ලේඛකයා අඥාතයි.







Thursday, January 1, 2015

දේශප්‍රේමී ප්‍රබන්ධ

මධ්‍යස්තව ලියමි.
විදේශ කුමන්ත්‍රණ වලට අනුබල දෙන උදවිය සහ රට අස්ථාවර කිරීමට කිරීමට මාන බලන පුද්ගලයින් රටට පිළිලයකි. ඔවුන් කෙවිටෙන් තලා පිටමං කල යුතු බවට දෙකක් නැත. ඇමෙරිකාව සහ බටහිර රටවල් තමන්ට අනුබල නොදෙන දේශයන්හි පාලන පෙරලා දැමීමට කටයුතු කරන බැව් අසත්‍යයක්ද නොවේ. ලතින් ඇමෙරිකානු රටවල පාලනයන් පෙරලා දමා ඒ රටවල තෙල් නිධි ඇතුළු ස්වභාවික සම්පත් සිය මඩිය තුලට අද ගැනීමට ඇමෙරිකාව දත කෑ ආකාරය, John Perkins රචිත, "Confessions of an economic Hitman" කෘතියේ සඳහන් වේ. වර්තමානයේ එවන් බටහිර අතපෙවීම් වලට ලක්වූ ඉරාකය, ලිබියාව, ඊජිප්තුව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල තත්වය ඉතා සෝචනීයය. මේවා දත්තය! අපට ලංකාව තවත් ලිබියාවක් හෝ ඉරාකයක් වනු දැකීමට අවශ්‍ය නැත. 

මෛත්‍රී හෝ මහින්ද වේවා, විදේශ කුමන්ත්‍රණ වලට අනුබල දෙන්නේ නම් හෝ රට අස්ථාවර කිරීමට කිරීමට මාන බලන්නේ නම් එම පාලනය පිටු දැකිය යුතුය.

සංක්ෂිප්තය මෙයයි. විදේශ කුමන්ත්‍රණ යනු භයානක පිළිලයකි. ඒවා සොයා ගත් තැන විනාශ කර දැමිය යුතුමය. ඒවා නොසලකා හැර සිටීම දේශප්‍රේමියෙකුට තරම් නොවේ. විදේශ කුමත්‍රණ දැක දැකත් නොසලකා හැර සිටින්නෝ වෙත් නම් ඔවුන්ද පිටිතල හයා බැඳ කුමන්ත්‍රණකරුවන් සමග නෙරපිය යුතුය!
ප්‍රශ්නය මෙයයි. මේ රටේ ආණ්ඩුවේ නායකයන්ට, මේ සා භයානක, ම්ලේච්ඡ විදේශ කුමන්ත්‍රණ සතියකින් අමතක වීමයි! ඒවා මතක් වන්නේද මැතිවරණ කාලයට පමණක් වීමයි! රටේ විපක්ෂ නායකවරයා කොටි ඩයස්පෝරාව සමග කතා කරේ නම් එය ඉතා භයානක තත්වයකි. යුරෝපා සංගමය තුල කොටි තහනම ඉවත් කිරීමට එතුමාගේ සාකච්ඡා බලපෑවේ නම් (එතුමාට යුරෝපා අධිකරණයට කල හැකි බලපෑම පිලිබඳ අව්‍යාජව ආඩම්බර වන අතරම) ඒ පිලිබඳ අන්තර්ජාතික පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පරීක්ෂණ පවත්වා එසේ සාකච්ඡා කරේ නම්, සාකච්ඡා කරේ කුමක්ද, කින්ද මන්ද රටට අනාවරණය කල යුතුය. එසේ පරීක්ෂණයක්ද නොපවත්වා, එතුමා පොදු අපේක්ෂකයා නොවන බව අනාවරණය වූ විගස එම කුමන්ත්‍රණය අමතක වන්නේ නම් එය බරපතල තත්වයකි. එම මුළු සිදුවීමම අමතක කර මැතිවරණයට ලඝු කල පුද්ගලයන්ද දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිය යුතුය!
එලෙසම සති තුනක් ගතවීත්, රනිල්-මෛත්‍රී අතර ඇති කර ගත්තායැයි පවසන දේශද්‍රෝහී ගිවිසුමේ එකදු වගන්තියක්වත් හරියාකාරව ඔප්පු කිරීමට තිස්ස අත්තනායකට නොහැකිවී ඇත. ව්‍යාජ ලියවිලි මගින් ලබා ගන්නා ඡන්ද වාසිය නීතිය මගින් අහෝසි කල හැකි බවට සරත් සිල්වා, හිටපු අගවිනිසුරු වරයා පැවසීමත් සමගම මහින්දගේ මැතිවරණ වේදිකාවේ එම ගිවිසුම යල් පැනපු වදනක් බවට පත්ව ඇත. දැන් තිස්ස අත්තනායකටවත් එය මතකදැයි සැක සහිතය!
සංක්ෂිප්තය මෙයයි. මෙවැනි ගිවිසුම්, සාකච්ඡා පිලිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා රටට අනාවරණය කිරීම ඒ පිලිබඳ හඬගෑ දැන් බලය අතැති උදවියගේ වගකීමයි. එසේ නොකරන්නේ නම් ඔවුන්ගේ දේශප්‍රේමීත්වය පිළිබඳ බරපතල සැකයක් ඇතිවන අතරම දේශද්‍රෝහීන් යැයි හංවඩු නොගැසීමට හේතුවක් ඉදිරිපත් කල යුතුය.

Tuesday, December 30, 2014

හැමෝම කියවන මෙන් ඉල්ලා සිටිමි..

(උපුටා ගැනීමකි, නමුත් බොක්කටම වැදුන නිසා පල කරමි.)
බඩ ගැන හිතන්න එපා රට ගැන හිතපං කියලා උඹ මට බනිනවා..ඇයි බං උඹ මට එහෙම බනින්නෙ?මං රටට ආදරේ නැද්ද?මම රට ගැන හිතන්නේ නැද්ද?
මගේ රටත් දියුණු සංවර්ධිත රටක් කියලා මිනිස්සුන්ට කියන්න මං ආස නැද්ද?උඹ කොහොමද බන් නෑ කියන්නේ?උඹට මගේ හිත පේනවන් ටින් ද?කියපං උඹටපේනවද?මගේ තාත්තත් හමුදාවේ හිටියා.අවුරුදු ගානක් යුද්ධ කලා..මගේ උපන් දිනේට මගේ නංගි ලොකු ලමයෙක් උන දවසේ සිංහල අලුත් අවුරුද්දට මගේ තාත්තා අපිත් එක්ක හිටියේ නෑ..මගේ ජීවිතේ වැදගත් එක දවසකවත් තාත්තට මං එක්ක ඉන්න බැරි වුනේ මේ රට වෙනුවෙන් මගේ රට වෙනුවෙන් අපේ රටවෙනුවෙන් යුධ පිටියට වෙලා සටන් කරපු නිසා..ඒ වෙලාවේ මගේ තාත්තට බයක් නොදැනුනත් ගෙදර හිටපු මායි නංගියි අම්මයි තමා එයා ගැන බය වුනේ.මගේ නෑදෑයෝ යාලුවෝ සීල් කරපු පෙට්ටි වලින් ගෙදර එද්දි අපිට දැනුන හැඟීම උඹලට තේරෙනවද මචන්?අපි එදා හිත සනසගත්තේ ඒ මරුණෙ රට
වෙනුවෙන් කියලා හිතලා මිසක් පුලුවන් කමකට නෙමෙයි.දුක නැති නිසා නෙමෙයි..කොහොම කොහොම හරි යුද්දෙත් ඉවර වුණා..ප්‍රභාකරන්ගේ මළකඳ
නන්දිකඩාල් කලපුව ලගින් හම්බවුණා කියද්දි අපි හැමෝම සතුටින් කෑගහුවා.රතිඥ්ඥා පත්තු කළා..ගමේ හැමෝම එකතු වෙලා කැවුම් කිරිබත් කළා ප්‍රිති වුණා.බඩ විතරක් නෙමෙයි අපේ හිතේ සන්තොසෙත් කැප කරා මචන් අපි යුද්දේ වෙනුවෙන්..උඹ තවම කියනවද මං බඩ ගැන විතරයි හිතන්නේ කියලා?
ඉතිං මෙහෙම යුද්දේ ඉවර වෙනකොට අපේ හිත්වල හුගාක් බලාපොරොත්තු ඇති වුණා..අපේ රට හැම අතකින්ම ඉදිරියට යයි කියලා හිතුනා.මොකද අපේ
දේශපාලඥයෝ හැමදාම අපිට කීවේ අපේ රට සංවර්ධනය කරන්න බෑ ජනතාවට සහන දෙන්න බෑ යුද්දෙට යන වියදම් නිසා කියලා..ඉතිං ඒ ප්‍රශ්නෙත් ඉවර
වුණු නිසා අපිට හොඳ කලදසාවක් යයි කියලා ඇත්තටම අපි හිතුවා..මෙච්චරකල් තද කරගෙන හිටපු පටි ගලවලා අපේ බඩ ගැනත් අපි හිතන්න පටන් ගත්තා.
කියපං බලන්න ඒක වැරදිද?මෙච්චර කාලයක් සේරම විද දරාගෙන හිටපු අපි බඩ ගැන හිතපුවම අපි දේශද්‍රොහියොද මචන්?ක්‍රිඩකයෝ ගායකයෝ දේශපාලුවෝ
ටිවි එකට ඇවිල්ලා බඩ ගැන නෙමෙයි රට ගැන හිතන්න කියලා තාම කියද්දි මට මළ පනින එක වැරදිද මචන්?උන්ට අපිට වගේ ප්‍රශ්ණ තියනවද?මාසෙට ලක්ෂ
ගණන් හොයන උන් අතරෙයි මාසෙට 25000 හොයන මගෙ තාත්තයි අතර වෙනසක් තියනවා කියලා උඹට තේරෙනද මචන්?අම්මා කඩේට ගිහින් පොඩි ෂොපින් උරයක එලවලු කෑලි 2 3 කුයි සැමන් ටින් එකකුයි තේ කුඩු 100 ගෙද්දි රැපියල් 1000 ඉවර වෙනවනම් මොකද්ද බන් මේක?ඔව් උඹලට හිනා යනවා ඇති.හිනා වියං.හොදට හිනා වියං..ඒත් අපිට රු 1000 කියන්නේ ලොකු ගානක් මචන්.ඉස්සර අපිත් කිරි බීවා මචන්..ඒත් 200 කිරි පැකට් එක 400 වෙද්දි අම්මා
අසරණ වෙලා වගේ මගේ පුතේ අද තේ බොමු කියනකොට මට මොනවද හිතෙන්නේ කියලා උඹලට තේරෙනවද?අපි අලුත් ඇඳුමක් ගන්නේ අවුරුද්දට
එක පාරයි..ඩෙනිමයි ෂර්ට් එකයි ගන්නත් රු 4000 විතර යනවා කියලා දැනෙද්දි මං ඇදුම් එපා කියන්නේ මට නැතත් මගේ තාත්තට නැතත් අම්මටයි නංගිටයි
ඇදුමක් ගන්නවට තියන ආසාව නිසා බන්..අපි හඩ්ඩෝ වගේ ඉදියත් කොහොමද බන් ගැනියක් එහෙම ඉන්නේ?උඹට තේරනවද මචන්?උඹත් ඒ අත්දැකීම
විදපු කොල්ලෙක්ද?ඇදලා කරලා ඉන්න මාලු පිනි 2 3 එක්ක බත් ටිකක් කන්න අපිත් ආසයි මචන්.ඒත් උඹලා තාම කියනවා අපිට බඩ ගැන හිතන්න එපා
කියලා..අපි මෙහෙම නම් අර දවසට දෙතුන්සියක් හොයන වතු කම්කරුවෝ ජීවත් වෙන්නේ කොහොමද කියලා උඹලට නිකමටවත් හිතුනද මචන්?එක ලයිම් කාමරයක නැතිව හොඳ ගෙයක කාලා බීලා සතුටින් ඉන්න උන් ආස නැති වෙයිද මචන්?දැන් කියයි උන් නූගත් මිනිස්සු කියලා..උන් නූගත් වෙන්නේ උන්ගේවරදින් විතරද මචන්?පොතක් පතක් අරන් දුන්නොත් ඒ මිනිස්සු කාලා බීලා ඉන්නේ කොහොමද කියපන්කෝ එහෙනම්?හොදට ඉගනගෙන කැම්පස් ගිහින්
අවුරුදු 4 දෙමාපියන්ගේ අහිංසක සල්ලි ඒ මිනිස්සු වියදම් කරන්නේ අනේ මගේ දරුවට දවසක හොද කලදවසක් යාවි කියලා හිතලා.ඒත් අවුරුදු 4 ඉවර වුනාමත්
උන්ට ජොබ් නැතිනම් හම්බෙන ජොබ් එකත් 10000 පඩියට නම් අපි ඉගන ගන්නේ මොකටද බන්?අධයාපනයක් මොකටද අපිට?කොහොමද අපි 10000න්
ජීවත් වෙන්නේ?රු 25000 හැරෙන්න පුලුවන්ද බන් අද කාලෙ?කසාදයක් බදින්න ඔන ලමයෙක් හදන්න ඔන වාහනයක් ගන්න ඔන..මෙවා කරන්න පුලුවන්ද
මේ සොච්චමෙන්?උන් අපේ ජන්දෙන් මාලිගා වල ඉන්නවනම් අපි කාමර දෙකයි සාලෙයි හදලා ජීවිත කාලෙම ණය ගෙවනවනම් මොකද්ද යකෝ මේකේ
තියන සාධාරනේ?අපි එලෙවල් පාස් නිසාද?කැම්පස් ගිය නිසාද?නැත්නම් 8 පාස් වෙලා ඇමතිලා නොවුන හින්දද?අපි අපේ අම්මලා තාත්තලා අමාරුවෙන් ණය
වෙලා ලීස් කරලා ලක්ෂ 2 3 බයික් එකක් ගන්න කොට පිට රටක ඊටත් වඩා අඩු ගානට කාර් එකක් ගන්න පුලුවං කියලා උඹලා දන්නවද?එහෙනම් අපේද වැරැද්ද
මේ රටේද කියලා නිකමට හිතලා බලපං?අපිට හැමදාම උරුම බයික් එකයි වීල් එකයි විතරද?උන්ට විතරක් 8 පාස් උන් විතරක් ලැමිබොගිනි පදිද්දි උඹලට
ආතල්ද?අපේ තාත්තගේ අහිංසක බයික් කට්ටට මේ රටේ හයි වේ තහනම්..වීල් එකට හයිවේ තහනම්..ඇයි බන් ඒ?කොටි 2 පාර කොටි 80 හදලා ලැම්බොගිනි
පැදලා උන් ආතල් ගනිද්දි උන්ගේ කරුමත් අපි ගෙවන එකද බඩ ගැන හිතන්නවා කියන්නේ ?කියපං?උත්තර දීපං..උන් ලක්ෂ 2 3 සප්ත්තු දාද්දි උන්ගේ
ලයිට් බිල් ලක්ෂ ගණන් වෙද්දි උන් අදින ෂර්ට් 45000 50000 වෙද්දි උන් උදේ නැගිටලා හෙලිකොප්ටරේ නැගලා නුවරඑළි ගිහින් අශ්වයෝ පදිද්දි උන්ගේ
ළමයි රට රටවල් වල ගිහින් ඉගන ගනිද්දි උන්ගේ අසාවල් සපුරගන්න රොකට් අරිද්දි දළදා මාලිගා වටේ ලැම්බොගනි පදිද්දි උඹලට හෙන ආතල්ද බන්?
ඒ උන්ගේ සල්ලිද?උන් හම්බ කරප සල්ලිද?උන්ට හම්බෙන පඩියද ඒ?තේරුම් ගනිල්ලා බං..ඔය සේරම අපේ සල්ලි.අපේ අම්මගේ තාත්තගේ දාඩිය කදුල
ඔය..රු 100 දෙන්න පුලුවන් ප්‍රෙටල් ලිටරේ 160 දීලා හොයාගන්න සල්ලි බන් ඔය..අපිට උදේට කිරි ටිකක් බොන්න තියන සල්ලි ඔය..තේරුමි ගනිං.දැන්වත්
තේරුමි ගනිං..උන්ගේ විතරක් නෙමෙයි අපෙත් තියෙන්නේ බඩවල් බං.කුඩුකාරයන්ට නීතයක් නැත්නම් එතනෝල් කාරයන්ට නීතයක් නැත්නම්
මිනීමරුවන්ට නීතියක් නැත්නම් තියන ෆයිලුත් එලියට දාන්නේ නැත්නම් මොකද්ද බං මේ?ෆයිල් එලියට නොදාන්නේ අපේ බඩට තියන ආදරේ නිසාද මචන්?
කසිප්පු කාරයාට විතරද මේ රටේ නීතිය?අහිංසකයට විතරද මේ රටේ නීතිය?එදා රනවිරුවෝ කියලා මහා වැදුම් පිදුම් ලබපු මිනිස්සු අද කානු සුද්ද කරද්දි
වැලි කොට්ට අදිද්දි පාරවල් අතු ගාද්දි උන්ට මොනවා හිතෙනවද?උන්ගේ ළමයින්ට ගෑනිට මොනවා හිතෙනවද කියලා උඹලට කල්පනා වුනාද මචන්?මහා ලොකුවට බඩ ගැන හිතන්න එපා රට ගැන හිතපන් කියලා මොර දෙන උන් දන්නවද ආය යුද්දයක් ඇති වුනොත් උඹලා වෙනුවෙන් යුද්දෙට යන්නේ උන් කියලා?මිනිස්සු කොටවලා ජතාබේද ආගම්බේද ඇති කරන නානසාරලා උන්ට නායකත්වය දෙන මහ එවුන් දවසක යුද්දයක් ඇති කළත් යන්නේ අර පාරවල්
සුද්ද කරන කානු අදින ආමිකාරයාම තමයි..උන් ඔය ප්‍රශ්න ඇති කරන්නේ ඇති කලේ මිනිස්සු කොටවන්නේ ජතාබේද ආගම්භේද ගැන කියවන්නේ උන්ගේ
පැවැත්මට මේ රටේ ප්‍රශ්ණයක් තියෙන්න ඔන ජාතිය ආගම ගැන හැමවෙලේම කියවලා මිනිසුන්ගේ ඔලු කුරුවල් කරලා උන්ගේ පැවැත්ම තියාගන්න
ඔනි නිසා කියන පොඩි දේ උඹලගේ ඔලුවලට නොතේරෙන්නේ ඇයි බන්?උන් හදන ප්‍රශ්ණ වලට අපි අපේ බඩ නැති කරගන්න ඔනිද බන්?තේරැම් ගනිල්ලා
බං මේවා..නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් රටක්..සුදු වැන් එන්නැති රටක් මාධ්‍ය ආයතන ගිනි තියන මාධ්‍යෙව්දියෝ නොමරන රටක් අපිට ඔන නැද්ද බන්?හැමතැනම කටවුටි ගගහා මඩගහගන්න දේශපාලනයක් වෙනුවට අර පිටරට වගේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම එකම වේදිකාවට ඇවිල්ලා වාද විවාද කරගන්න වැදගත් දේශපාලනයක් නෙමෙයිද බන් අපිට ඔනි?තේරුමි ගනිං බන් සිරාවට..මේ හැමදේම වෙනස් වෙන්න ඔන..නීතයක් ඕනි අපිට සාධාරණයක්
සමානාත්මතාවක් ප්‍රජාතන්ත්‍රවාදයක් හැම කෙනාම බඩ කට පිරෙන්න කාලා ඇදලා වාහනයක් අරගෙන හොදට ජීවත් වෙන්න පුලුවන් රටක් ඔන බං අපිට..
ඒක තමයි දියුණුව කියන්නේ ඒක තමා ආශ්චර්ය කියන්නේ.පිටරට වෙන්නේ ඒකයි.නිවැරදි මිනිස්සු උගත් මිනිස්සු දේශපාලනය කරන කොට නිවැරදි දේශපාලනක් වෙනකොට ඒක ඉබේම සිදුවෙනවා.නැතිව උන් මැජික් එකකින් ඒවා ලබාගෙන නෑ..හැබැයි 8 පාස් උන් කුඩ්ඩෝ එතනෝලකාරයෝ ස්ත්‍රිදූෂකයෝ මිනිමරුවෝ දාගෙන හයිවේ හද හද ගසා කකා රේස් පදිනකොට එක පැලැන්තියක් වෙනුවෙන් මුදල් අතට අරන් රට පාලනය කොට සේනාවල්
හදලා ජාතිවාදයයි ආගම්වාදයයි පතුරවනකොට දෙකයි පනහේ ගොන් නිලියෝ කියන දේවල් මේ මිනිස්සු අහනකොට පැය 24ම රට ජාතිය රට ජාතියකියලා කියව කියව හිටියත් ඒ රටෙන් ලොකෙට වැදගත් කිසිම නිෂ්පාදනයක් නොවෙන කොට මේ රට ආශ්චර්යක් වෙනවා කියලා සිරාවටම උඹ හිතන්ඉන්නවනම්..උඹට කියන්න වෙන්නෙත් උඹ හරි පව් කියලා තමයි මචන්...
උඹට මේකෙන් මොනවා හරි දෙයක් දැනුනා නම් තේරුනානම් කරුණාකරලා මචන්..මේවා නොදන්න කෙනෙකුට කියපං..අම්මා තාත්තට කියපං..දන්න
අදුරන එකෙක්ට කියපං..නෑදෑයෙක්ට කියපං..උඹලට කරගන්න පුලුවං ලොකුම පින ඒක තමයි මචන්..නැත්නම් අපි සේරටම අබ සරණයි..එක ඔලුවක් අයින් කරලා එතනට තව ඔලුවක් ගේන එක නෙමෙයි මචන් මේ කියන්නේ..මේ ක්‍රමයයම අපි වෙනස් කරන්න පටන් ගමු දැන්වත්.ඒකට ආරම්බයක් ගමු අපි..ඒ නිසා සංවේදිකම පැත්තකින් තියලා මොළේ කල්පනා කරහල්ලා මචන්...



උපුටා ගැනීම 
https://www.facebook.com/panifun/posts/347878732063947

Sunday, October 5, 2014

කාටද ඔය පයින් ගහන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන්නේ අයිසේ, ප්‍රජාතන්ත්‍රවාදයට!


පාපන්දු ලෝක කුසලානය අවසන් වී දැන් මාස තුන හතරක්ම ගෙවී අවසානය. නේමාර්ගේ කොන්දත්, මෙසීගේ තරඟාවලියේ වීරයා කුසලානයත්, ජර්මනියේ ජයග්‍රහණයත් ලහි ලහියේ සේල් වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල එකසිය පනස්ගනන්වලිනුත් එහාට ගිය ලංකාවේ ඉන්න අපේ සමහර අයියලා එංගලන්තෙටත් බ්‍රසීලයටත් පාපන්දු ගැසීමට උගනන්වන ලොරි ටෝක් දුන් හැටි ද දැන් දැන් හැමෝගේ මතකයන්වලින් ද මැකී ගොසින් අවසන්ය. කසුන් ජයසුරිය, අමලීන්, ස්ටේන්වොල් වලින් ඔබ්බට ගිය ලංකාවේ පාපන්දුවක් මා නොදන්නා බැවින් උන් මට වඩා ගොඩාක් දන්නා බව සිතා මම ඒවා බලා පමණක් සතුටු වන්නට වූ නමුත්, උනුත් දන්නේ මන් දන්නා තරම්ම බව තේරුණු සැණින් ඒ ලොරි ටෝක් ලෝක කුසලානයට කොමඩි රිලීෆ් වී ගියේ පාපන්දු ලෝක කුසලානය ලංකාවට අවේනික වශයෙන් ලෝකලයිස් වීමක් සමගය. නමුත් පාපන්දු කෙසේවෙතත් පයින් ගහන එක ගැන අපි දන්නා ලබ්බක් නැති බව එහෙම්පිටින්ම බොරුවක් බව මට ඊයේ පෙරේදා තේරුම් ගියේ අහම්බෙන් මෙනි.


වාරියපොළ අක්කාගේ සිද්ධාන්තයේ උණු බහින්නටත් කලින් රත්නපුරේ බට්ටි සමාජ මාධ්‍යතුල වයිරල් වෙමින් තිබේ. මුලින්ම එම වීඩියෝව දකින විට කාන්තාවකගේ කෙස් වැටියෙන් අල්ලා, බිම දමා, වේවැලකින් පහරදෙන ගමන් පයින් ගැසීමට තරම් පොලිස් නිළධාරියෙක් අමානුෂික වූයේ කෙසේදැයි මට සිතාගන්නට බැරි විනි. ඔහුට එතරම් බලයක් ලැබීමටත්, ඔහු එසේ කරද්දී මුළු බස් නැවතුම්පලේ මිනිසුන් කටවල් අයාගෙන බලන් ඉන්නට පමණක් සීමා වීමටත් හේතුව කුමක්දැයි මට සිතාගන්නට බැරිවිනි. පසුව මට දැනගනීමට ලැබුනේ ඇය ගණිකාවක් බවත්, ඇයව අත්අඩංගුවට ගැනීමට තැත් කරද්දී සිදුවූ බහින් බස් වීමක් දුරදිග යාමකින් ඇති වූ කලබැගෑනියක් බවත්ය. ඇය ගණිකාවක් බව දැනගත් සැනින් අර මුලින් ඇය බිම වැටී දෙනෝදාහක් සෙනග මැද්දේ පහර කන හැටි දුටු විට මට ඇති වූ අනුකම්පාව මදක් තුනී වූ බව මම පවසන්නේ ලැජ්ජවෙනි. ඇය තෝරාගත් වෘත්තීයත් සමග අනුකම්පාව හා ගෞරවය සමාන්තර රේඛාවල ගමන් කරනා අවස්ථා ස්වල්ප වුනත් එසේ පහර කෑමට ලක්වීමටත්, එසේ වූ පසු මිනිසුන්ගේ අනුකම්පාව වත් නොලැබීමට තරම් ඇය අවාසනාවන්ත නොවිය යුතු බව වැටහීමත් සමග  මාගේ අනුකම්පාවෙ යම්කිසි තුනීවීමක් සිදුවීම ගැන මා කනගාටුවුනි.


ගණිකාවගේ අසරණ කමක් ගැන කඳුළු වගුරන්නටවත්, ඇයට සුදු හුණු ගෑමටවත් මට උවමනාවක් නැත. නමුත් ඇඟ විකුණා කෑවත් ඇයටත් අයිතිවන්නා වූ යම්කිසි ප්‍රජාතත්රවාදයක් මේ රටේ ඇත. යම් කිසි මානව හිමිකම්, මුලික අයිතිවාසිකම් කොටසක් ඇයටත් ඇත. කුමන හෝ වැරැද්දකට දඬුවම් ලැබීමට පෙර නිදහසට කාරණා කීමට අයිතියක් ඇත. සාදාරණ විනිශ්චයකට ඇයට අයිතියක් ඇත. ඒ මොන බයිලාවකින් වත් දැන් නම් වැඩක් නැත. ඒවා ජෙනරික් ය. ඕනෑම වරදකට ජෙනරික්ය. ඕනෑම මිනිහෙක්ට ජෙනරික්ය. බට්ටි ජෙනරික් කේස් එකක් නොවන්නීය. නමුත් ඇයද ජෙනරික් වන එක සංදිස්ථානයක් ඇත. ඇය ගැහැනියකි. පිරිමි පොලිස් නිලාධාරියෙකුට ඇයට පහරදීමට තිය ඇත තියන්නටවත් අයිතියක් නැත. බිම දමා පයින් ගැසීමට තියා, කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව බට්ටිව අත්අඩංගුවට ගැනීමට පවා ඔහුට හැකියාවක් නැත. නමුත් බට්ටි එසේ පහර කෑමකට ලක්වී අවසන්ය. ඇය කෙතරම් පාදඩ උනත්, ඇය කෙතරම් නස්කූනි උනත්, මුළු ලංකාවටම පොලිසියේ තරම බලාගැනීමටත්, සාමාන්‍ය ජනතාවට පොලිසියත් නීතියත් ප්‍රජාතත්‍රවාදය ගැන දෙවරක් සිතීමටත්, අපි වගේ ජෝබ්ල්ස් පොරවල් වලට ලිපි ලිවීමට ප්ලැට්ෆෝම් සදාදීමටත්, ඇය බිම වැටී, වේවලෙනුත් අතිනුත් පයිනුත් ගුටිකා හමාරය.


ඒ පළමු කොටසයි. දෙවෙනි කොටස වෙනුවෙන් බට්ටීත් පොලිස් නිලධාරියත් ඉවත්වී ගොස් ක්‍රිස් නෝනිසුත් සජින් වාස් ගුණවර්ධනත් වේදිකාවට පිවිසෙයි. බට්ටි නම් අපි නොදන්නා කොහෙවත් යන වේසියෙකි. නමුත් ක්‍රිස් නෝනිස් මහතා මීට වසරකට පෙර ජාතික වීරත්වයෙන් ලාංකීය ජනයා විසින් සලකූ, සුද්දන්ටද ඉංග්‍රීසි ඉගැන්වූ අසහාය රාජ්‍යතාන්ත්‍රිකකි. බට්ටි ඉන්සිග්නිෆික්න්ට් වන විට, ක්‍රිස් නෝනිස් මහින්ද රාජපක්ෂටත් වඩා සිග්නිෆිකන්ට්ය. ක්‍රිස් නෝනිස් නම් සුද්දා සෑදු විශ්ව ගම්මානයේ සුද්දාගේ මාළු සුද්දාගේ පිටේම තියා කැපු ශ්‍රී ලාංකීය නිර්භීතකමේ ප්‍රපංචයයි. ඔහුගේ වෘත්තියත් සමග සමාන්තරවම ගමන් කරන්නාවූ ගෞරවය ඔහුට නොඅඩුව ලැබෙයි. පොලිස් නිලධාරියාද ඉන්සිග්නිෆිකන්ට්ය. ඌ නිල ඇඳුම ඇදගත් සාමාන්‍ය රැන්ඩම් පොලිස් කාරයෙකි. නමුත් සජින් වාස් සිග්නිෆිකන්ට්ය. උගේ ගුණ වැයීම මා අමුතුවෙන් නොකළයුතු නමුත්, මිහින් ලංකා ගුවන් සමාගම බංකොලොත් වනතුරු එයින් මාටියා ගසා පෝසත් වී, අවසානයේ එම ගුවන් සමාගමේ CEO තනතුරෙන් නෙරපාදැමු අසහාය අංකූරා ඔහු බව මතක් කිරීමෙන් ඔහුගේ සිග්නිෆිකන්ස් එක කෙසේ දැයි ඔබට සිතාගත හැකි වනු ඇත. රත්නපුර නගර මධ්‍යයේ මහා දවල් සෙනග මැද කොහෙවත් යන වේසියෙක් කවුද පොලිස් කාරයෙක්ගෙන් පයින් පාරවල් කනවිට, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති වන ආසියාවේ හොඳම රාජ්‍යතාන්ත්‍රිකයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිස් නෝනිස් මහතා, මිහින් ලංකා එකෙන් පැන්නු සජින් වාස්ගෙන් රාත්‍රී බෝජන සංග්‍රහයකදී මහා රෑ ලංකාවම නිදනා විට පයින් පාරවල් කෑවේය. ක්‍රිස් නෝනිස් වැනි ලංකාවටම එකයි ජාතියේ උගත් නැණවත් ගෞරවනීය රාජ්‍යතාන්ත්‍රිකයෙක්ටත් බිම දාගෙන තඩි බාන්නට සජින් වාස්ලාට හැකි නම්, බට්ටිලාට බිම දාගෙන මොනවා නොකරන්න බැරි දැයි මට සිතිනි.


සිද්ධි දෙක සංසන්දනය කරද්දී මට වරක් අප්පච්චී කියූ කතාවක් මතක් විනි. අප්පාච්චී තමන්ගේ මිතුරු පොලිස් නිලධාරියෙක් සමග කොටුව දුම්රියපොළ පහු කරමින් ඇවිදිමින් සිටියේය. ඔවුන් දෙදෙනාට බෝක්කුවක් උඩ වාඩිවී විටක් කන පොලිස් රාලහාමි කෙනෙක්  මුණගැසිනි.රාලහාමි අප්පච්චිගේ මිතුරු නිලධාරියා දැක, සැලියුට් එකක් ගසා "සෑර්..." කීවේය. අප්පචිගේ මිතුරා රාළහාමිගෙන් මෙසේ විමසුවේය. "රාලහාමි, මොනාද ඔය කන්නේ?". රාලහාමි එක හෙළ "විටක් සෑර්.." කියා පිළිතුරු දුන්නේය. එවිට නිලධාරියා "විට නෙමේ අයිසේ, පොලිසිය කන්නේ! පොලිසිය!" කියා එතනින් නික්ම ගිය බව අප්පච්චි පැවසීය.


මට රත්නපුර බස් නැවතුම්පලේ පොලිස් නිලධාරියගෙනුත්, සජින් වාස්ගේනුත් අහන්නට තිබ්බෙන්නේ එවැනි ප්‍රශ්නයකි. "කාටද ඔය පයින් ගහන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන්නේ අයිසේ, ප්‍රජාතන්ත්‍රවාදයට." නමුත් ගණිකාවගේ සිට මහා බ්‍රිතාන්‍යයේ තානාපති දක්වා සමාජ මට්ටම් වල දෙකොන යා කල මේ දෙදෙනා අතරට මැදි වූ ලංකාවේ ජීවත්වන සියලු සමාජ මට්ටම් වල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදයට අද මරාත්, මරාගේ ආණ්ඩුවත්, ආණ්ඩුවේ බලය හිමි සියලු සාමාජීය පාර්ශවයිනුත් පයින් ගසා හමාරය. පයින් ගසා පමණක් නොනවතින උන් අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් සමග ෆුට්බෝල් ගසන්නේය. ඒ නිසා අපිත් යම් කිසි මට්ටමකට ෆුට්බෝල් ගැන යමක් කමක් දන්නෝ වෙමු. ප්‍රජාතන්ත්රවාදය රත්නපුර බස් නැවතුම්පලේ සිට එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය උන් නැවතී සිටි හෝටලයට යනකං බිම දිගේ රෝල් වන විට, අපිට සිදුවී ඇත්තේ බයිට් එකට ලංකාවේ ඉන්නා ෆුට්බෝල් කෝච්ලාගේ ස්ටේටස් බල බලා පාපන්දු ලෝක කුසලානය නැරඹීමටය. නේමාර්ගේ කොන්ද දැන් හොඳ ය. මෙසිට ඊළඟ ලෝක කුසලානය වන තුරු ක්‍රීඩා කිරීමට වයසත් හැකියාවත් ඇත. ජර්මානු කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන්ගෙන් පිරිපුන් නිසා, කුසලානය ආරක්ෂා කරගැනීමට 2018දී ඔවුන් සිහින දකිනු ඇත. අපේ ප්‍රජාතන්ත්‍රවාදය නම් තවම බිම ය.



-Written by Kumma

Saturday, June 14, 2014

තරුව නුඹ

තරු පිරුන අහස යට
තනි වෙලා හුන් වෙලාවක
දුටුවා තරුවක් රන්ම රන් පැහැයෙන්
යන්තමට  හිනැහෙනවා - සුකොමලයෙන් ඉඟි කරනවා
දැනුන මට හැංගිලා තිවුන ලෙන්ගතු බවක් මතුවෙන්න දඟලනවා

කුලුදුල්ම අහසකට පෑව්ව ඒ තරුව
හිනැහුනා හැමදාම
කතා කළා නෙතු යුගන
හමුවුනා වළාකුල් වියන මැද
ඒ රන්පාට පුංචි දඟකාර තරුව නුඹ

වළාකුල් වියන කඩ වුනත්  සුලි සුලඟකට
ඩෑහැගෙන ගියත් නුඹ සිත් අහසේ දුර කොනකට
ඉඩ දෙන්න පුංචි පවන් රැල්ලකට
නිසල මා දෙසට නුඹ රැගෙන පියඹන්න..


Wednesday, April 23, 2014

Got selected to GSoC 2014



Every Computer Science undergraduate who might have heard about GSoC would not merely be satisfied of hearing it. Definitely, there will be some tries to participate in it. It is not a plenty of undergraduates' dream to getting selected to Google Sumer of Code, certainly there is a lot more than a plenty.

In University of Moratuwa, where I study, GSoC is not just another event in the world of Computer Science students. It has become a part of their culture. Creating participants in GSoC in massive numbers is just-another practice of the university activities. All the related field students (students from department of computer science and the faculty of Information Technology) work hard to get selected in this prestigious event in the world open source calender.  University staff, past GSoCers and Google Student Ambassadors encourage undergraduates to apply for the event expecting not the  stipend but targeting  on the massive reputation that a student can gain from it.

Why UoM is special at GSoC?

UoM is holding the record for participating most number of students for the competitive event for impressive 7 consecutive years with 265 participants for all previous 9 years since the inception!

art21

These numbers were steadily increasing over all past years even during the war era. Even Chris DiBona, Director of Social Impact and Open Source at Google mentioned his excitement over these numbers during his speech at his "Decade of Google Summer Code" speech at University of Moratuwa.

How did I motivate?

It is said that "Eighty percent of the success is showing up". It wasn't false that much if you once look at a GSoCer's ability to show up. They are pretty good at what they are showing up. They are mastered of the field and always got highlighted in the industry as well as in the university.

In the very first year of the Uni life, i could attend to a small meet-up of past GSoCers and newbies. They were from Fedora project and encouraged us to apply to Fedora project in the GSoC 2012.

I was like... "What the hell is Fedora?" and "What is the relationship between Fedora and Google?"

I looked into some documentation of fedora and projects in the GSoC. I would be lying if I said I could understand a single project in the list.

Well... Time passed, promoted to the level two in the faculty. Again, looked in to the projects list. Unfortunately, it was the exam season and couldn't allocate time to understand optional worse, neglecting the necessary worst.
At the time I moved to level 3, I was somewhat matured about the scopes of projects and the amount of contribution I had to made to yield some results.

Selecting Mozilla

mozilla_wordmark
My answer for the question "Why Mozilla ?" in the proposal template form.

There are several reasons behind selecting Mozilla. I was using Firefox and loved its designs ever since I got hands to a computer. Another reason was my desire to commit for a project that would cause cheer of a lot of users. Contributing for a project in Mozilla that actually used by millions of people all around the world, causes a feeling of satisfaction by knowing that there can be someone making use of some code snippets I wrote. I always enjoy volunteering. Satisfaction becomes bigger, when the project becomes bigger. Finally, I would happy to repute my GSoC participation with a big brand name in the internet like “Mozilla”.

Start Contribution

Mozilla was one of the most forefront open source projects in the world. It has thousands of contributers, contributing to various technologies and perspectives.
Designers,  Coders in tens of projects, bug reporters, bloggers contribute to the progress of  Mozilla. I would say that, at the first time I visited to this website, I was amazed. My question was, "Do they have a site for this thing too?"

WhatCanIdoForMozilla

It has provided you a lot of alternatives to match with your preferences. Mine was JavaScript and Thunderbird Calendar!

Once I got my choice..........

Okay, here is the tricky part...

Once I got my choice, I moved to the melange site! Not to the Mozilla developer network! I wanted to see that was my selection correct. I wanted to make sure that is there a possibility to have another GSoC project from this project. I went through project list of 2-3 years. yes there was. So I was correct! There was several projects in last years and seemed a possibility was there. (Of course, you can suggest a project by looking at the codebase or the Bugzilla - the bug tracking system of the Mozilla, but notice I was a newbie to the giant project)

thunderbird_logo-wordmark_RGB-300dpi

I went through Thunderbird's documentations and Bugzilla to find out available bugs. I found a nice documentation describing where to start and how to find out new bugs and get then assigned.

Have to say that, Mozilla has the best stored knowledge in world of open source I found so far. Their developer network, provides you solution for any sort of related technical matters.

After going through a lot of documentations (and a lot of them) I thought to focus on the Thunderbird's calendar extension, Lightning project.

calendar-logo
-This article is getting longer with my excitement grows- have to make this short-

I had to search for easier bugs in bugzilla, and a get one of them assigned to myself. Certainly, I didn't have authority to get a bug assigned to myself. I had to comment in the section asking from someone to assign the bug to me. Once you get a "New start bug" to work on, you can contact the mentor assigned to the bug to get any doubts clarified.

After I got some experience with the codebase I turned to the GSoC. Went through the project statement, contacted the mentor for clarifications and glad to say that they were really responsive! Sometimes, they may take some 24s of hours to reply, but always give them arounf 48 hrs to reply for a mail. They also have their own works other than volunteering. :)

It's done...

Preparations and orientations were finished. Now this is the time for discovering the exact meaning of "Coding".

Hope, I will be able to achieve my goals and contribute to the Internet giant in my capacity to make open source more productive and Internet a better place.






Thursday, March 15, 2012

ඔන්න ඉතින් අපේ රටේ කට්ටියක් ඇමෙරිකන් නිෂ්පාදන තහනම් කරලු....

විමල් වීරවංශ මහත්තයාගේ ඒ කතාව අහපු වෙලේ ඉඳං මට එක එක දේවල් කල්පනා වෙන්න ගත්තා. (කතාව අහල නැත්තම් මෙතනින් ශේප් එකේ කියවන්න පුලුවන්.  http://www.ceylontoday.lk/27-3464-news-detail-boycott-us-products-wimal.html )
බොහොම අමාරුවෙන් හිතට ට්‍රැෆික් ලයිට් දාගෙන හිතිවිලි මේ විදියට පිළිවෙලකට පෙලගස්සන්න මට හිතුනා. 

මේ තමා මගේ හිතට ආව උභතෝකෝටික ප්‍රශ්න.

1.ඉතින් අපි American Products නැවත්තුවම ඇමෙරිකාවට පාඩු වෙයිද?
2.Google නවත්තලා අපි Yahoo වගේ දේශීය Search engine එකක් පාවිච්චි කරනවද?
3.Gmail වෙනුවට හැමෝටම ආණ්ඩුව ගානේ Email Accounts හදල දෙනවද?
4.Coca cola වෙනුවට කොත්තමල්ලි වගේ දෙයක් උත්සව අවස්ථා වලට ගන්නවද?
5.තව අපි IMF ඒකෙන් දෙන සල්ලිත් එපා කියනවද?
6.Prima පිටිත් තහනම් කරනවද?(කිරිපිටිත් ඕනෙම නෑ)
7.තව Shell, Caltex වගේ ඒවත් නවත්තනවද?
8.Microsoft, Apple, Linux වගේ ඇමරිකානු නිෂ්පාදන භාවිතයෙනුත් වලකිනවද?
9.ඇමතිවරුන්ගේ ඇමරිකන් වාහන ආපහු ඇමෙරිකාවට යවනවද?
10.එතකොට අපි පාවිච්චි කරන්නේ මොනවද?
11.අමෙරිකාවෙන් ලැබෙන විදේශ විනිමය මුහුදට දානවද?
12.KFC, McDonald's වලින් ගෙවන බදු එපා කියනවද?
13.සමුළුවට අනුග්‍රහය දක්වන්නේ නෝර්වේ හින්ද අපි නෝර්වේ විනිමයත් විසිකරනවද?
14.ඇමෙරිකාව අපිට එපාම හින්ද ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කඩේ දානවද?
15.මේ ටීක්‌ කතාව කියනවට මහින්ද, විමල් ට කීයක්‌ දුන්නද?

හොඳයි... අපි මේ ටීක්‌ වැඩේ කරාමයි කියමුකෝ... එතකොට ස්වාධීන රූපවාහිනියෙයි, ස්වර්ණවාහිනියෙයි, ජාතික රූපවාහිනියෙයි මේ වගේ ප්‍රවෘත්ති යයිද කියලත් හිතෙනවා...

1."ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු භාණ්ඩ තහනම් කිරීමෙන් ඇමෙරිකාව උග්‍ර ආර්ථික අර්බුදයක!"
2."Google සමාගමට යන එන මං නැතිවෙයි!"
3."ශ්‍රී ලංකාවට ආර්ථික වසන්තය උදා වෙයි!" (එහෙම කියල විමල්ගෙයි,මහින්දගෙයි ලස්සන මූණු දෙක දානව)
4."Barack Obama ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි!"
5."ශ්‍රී ලාංකිකයෝ දේශප්‍රේමයෙන් මත්වී දේශීය නිෂ්පාදනයට අත දෙති!"(එහෙම කියල ජනතාව දේශීය      නිෂ්පාදන පාවිච්චි කරන හැටි පෙන්නනවා)

හරි!! අපේ රටේ දේශප්‍රේමී ඇමතිවරුන්ගේ මේ වගේ කතා ඇහිලා ඇමෙරිකාව ලංකාවේ භාණ්ඩ වර්ජනය කරා කියමුකෝ. ඇමෙරිකාවෙන් දුන්න ණය ආපහු ඉල්ලුවා කියමුකෝ. එතකොට ඔය හැකර කටවල් වැහිලා ඇමෙරිකාවට නොවඳිනා වැඳුම් වඳින්න ගනී. රාජ්‍ය තාන්ත්‍රික භාවය ගෑවිලා වත් නැති, මිනිස්සුන්ගේ චන්ද ටික කඩා ගන්න විතරක් බලන ඉන්න මේ ආණ්ඩුව මේ රටේ ගැලරියට 2.50 හේ කතා කියල ජිනීවා ගිහින් බලු කුක්කෝ වගේ හා හොඳයි කියල විතරක් එනවා.

මේ වගේ ටීක්‌ කතා කියන දේශප්‍රේමී ඇමතිවරුන්ගෙන් මේ රටේ ප්‍රතිරූපයට වෙන හානිය නවත්තල දෙන්න කියල මේ රට ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා හිටින එක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.