Sunday, April 22, 2012

දුර සිටින කවිකාරියගෙන් කවියක් ලැබුන වග නම්... ;)

මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් එහෙම නෙවෙයි. මුතු කැට වගේ ලස්සන අකුරු වලින් ලියවුන, ගොඩක් දුර ඉඳන් ලැබුන ලිපියක තිබුන කවියක්. කාගෙන්ද කියල නම් අහන්න එපා. ;)

හීන මාලිගාවේ අග රැජිණ වී

සමනලියක් වී පාට ඉහුණ
තටු  ලැබුනොත් පියාඹන්න
මග වෙහෙසට නොනැවතීම
මම එමි නුඹ ළඟ රැඳෙන්න....

විසල් ලොවෙහි අතරමංව
හිඳින සඳෙහි හුදෙකලාව
නුඹේ සුසුමක් වත් ඇත්නම්
ඒ ඇති අත්වැල වන්න....

තරුවක් අහසින් ගිලිහී
එලි නංවා වැටෙනා විට
දෙනෙතු පියන් වසා දමා
පතනෙමි නුඹ ලඟට එන්න....

කසුන් සුණින් ගෙත්තම් කොට
රත'ඹර පෙති මත හසකැන් දවටා
කඩුපුල් මල් පිපෙනා වෙලෙහි
පතමි නුඹේ ළඟ හිඳින්න....





ආදරය වෙනුවෙන් අවි අමෝරා ගතිමි...!!!

ඇයි හත්තිලව්වේ මිනීමැරීම්, පැහැරගැනීම්, ස්ත්‍රී දුෂණ වලින් පිරුණ මේ රටේ ආදරයට ඉඩක් ඇත්තෙම නැද්ද..??? එහෙම නැත්තම් අපි දෙන්නට ඇරෙන්න මේ රටේ අනික් උන්ට ආදරේ Phobia එකක් තියෙනවද..???   මේ අත්දැකීමට මුහුණ දුන්නට පස්සේ මගේ හිතට ගලා ගෙන එන්න ගත්තේ මේ වගේ අදහස්.

ආදරය ගැන මේ තරම් කවි ගීත ලියවුන රටක ආදරවන්තයන්, යොවුන් අපරාධකාරයන් විදියට හංවඩු ගහන්නේ ඇයි..???

ග්ර්ර්ර්.... තවමත් මගේ හිත මට අවනත නෑ...

ඔබත් සමහරවිට මේ අත්දැකීමට මේ වෙනකොට මුහුණ දීල ඇති. එහෙම නැත්තම් වෙනත් කෙනෙක් මුහුණ දෙනවා දැකල ඇති. ඒ තරමට දැන් මේක මේ රටේ සාමාන්‍යකරණය වෙලා. 

පෙම්වතුන් බැහැර කිරීම

හිටිගමන් පොලිස් රාළහාමිලා කඩා පැන පාරවල් වල හෝ උද්‍යානවල සිටින පෙම්වතුන්ගේ හැඳුනුම්පත් පරික්ෂා කිරීම, බංකුවක් මත තුරුළු වී සිටින පෙම්වතුන් ඉවත් කිරීම, හිටිගමන් පෙම්වතියගේ වයස අසා සිටීම....

මේ පිළිකුල් සහගත ක්‍රියාදාමයට මට මීට වඩා සුදුසු නමක් හොයා ගන්න මට බැරි උනා.

පේරාදෙණිය උද්‍යානයේදී පොලිස් රාලහාමි කෙනෙක් ඇවිත් මගේ පෙම්වතියගේ වයස අසා සිටි අවස්ථාවේදී නම් මගේ ඉවසීමේ රතු කට්ට එලියටම පැනල දුම් දාන ගානට ලඟා උනා.

"උඹේ අම්මගේ වයස!"

පොලිස් අංකල්ට වයස 35ක් විතර ඇති. ආදරේ කරලා, කෙල්ලත් එක්ක රවුම් ගහල බංකු උඩ, ගස් යට තුරුල් වෙලා හිටිය කාලේ අමතක වෙලා තියෙන්න නැතුවත් ඇති. එහෙමත් නෙවේ නම් කට උත්තර නැති වෙන්න ඇති. ඒ දෙකම නෙවේ නම් මූව කොහෙන් පට්ට ගහන්න පටන් ගන්නද හිතා ගන්න බැරි වෙන්න ඇති. මාත් ඕනේ දෙයක් වෙද්දෙන් කියල හිතා ගෙන හිටියේ. 

අංකල් යන්න ගියා.
මම සොඳුරියගෙන් නැති වෙන්න බැනුම් අහගත්තා. ඒ වෙලේ මම හිතා ගත්තා මේ පිළිකුල් සහගත ක්‍රියා දාමයට එරෙහිව බ්ලොග් පෝස්ට් එකක්වත් ලියන්න ඕනේ කියල.

මේ රටේ ලඟකදී ඉඳං සියලුම ප්‍රශ්න අතරින් දැවෙනම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ ආදරය බවයි පෙම්වතුන් බැහැර කිරීමේ ක්‍රියාදාමය දකින ඕනෙම විදේශිකයෙකුට හිතෙනවා ඇත්තේ. හිටි ගමන් කඩා පැන පෙම්වතුන් බැහැර කිරීමේ ව්‍යායාමයේ සදාචාරාත්මක පැත්ත කෙසේ වෙතත් එහි අනුකූලතාවය හා අවශ්‍යතාවය ගැන ගැටළු මතු වෙනවා. 

ධර්මද්වීපය තුල සෑම මිනිත්තු 10ටම වරක් රිය අනතුරක් වන අතරේ, සෑම මිනිත්තු 20ටම වරක් අපරාධ ගණයට වැටෙන ක්‍රියාවක් (ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, මිනී මැරීම් ආදී) සිදුවන අතරේ ඒ පිලිබඳ සොයා බැලීම පසෙක ලා මල්වතු තුල හෝ වෙරළවල් වල තුරුළු වී සිටින පෙම්වතුන් ඉවත් කිරීමට පොලිස් රාළහාමිලා යෙදවීම ආශ්චර්යට යන්න ගමනේම කොටසක් වෙන්න ඇති. 

මොකද එහි වෙනත් කිසිම වැදගත්කමක් තිබෙන බව මට හැඟෙන්නේ නැති නිසයි. 

නොකෙරෙන වෙදකමට කලාඳුරු තෙල් හත්පට්ටයක් ඕනේ කිව්වා වගේ ආශ්චර්යට යන ගමනේ අනික් වැදගත්ම කොටස ගැහැනියක් සහ පිරිමියෙක් ආදරයෙන් වෙළීමට අවම වයසක් පැනවීම සහ වයස අවුරුදු 18 ට අඩු පෙම්වතුන් නීතිය ඉදිරියේ වැරදි කරුවන් කිරීම විය හැකියි.

හොඳයි, කවුරු හරි මෙහෙම කිව්වොත්...

"පෙම්වතුන් අසභ්‍ය ආකාරයට හැසිරෙන ආකාරය දැකල කුඩා ළමුන් නොමග යනවා.."

කිව යුතුමයි.

යුවලක් ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රයෙන් හැසිරෙන්නේ නම් ඔවුන් එතනින් ඉවත් කිරීම පිලිබඳ කිසිදු ගැටළුවක් මතුවෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව තුල එවැනි සිදුවීමක්‌ අපි කිසිවෙක් විසින් අත්විදින්න ඇති කියල. 

නමුත් බංකුවක් උඩ තුරුළු වී සිටින පෙම් යුවලක් අසභ්‍ය ආකාරයට හැසිරෙන්නේ යයි වර්ග කරන්නේ නම් ඒ නිගමනය කරන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ගැටළු මතුවෙනවා. 

මේ ලෝක ප්‍රකට ඡායාරූපය මීට කලින් ඔබ දැකලත් ඇති. නොදැක සිටීම දඬුවම් ලැබිය හැකි වරදකුත් නෙවෙයි. 
V-J Day in Times Square, a photograph by Alfred Eisenstaedt, was published in Life in 1945 with the caption, In New York's Times Square a white-clad girl clutches her purse and skirt as an uninhibited sailor plants his lips squarely on hers

දෙවන ලෝක යුද්ධය නිම වීමේ ප්‍රීතියට ඇමරිකානු සේලරුවෙක්‌ ටයිම් චතුරස්‍රයේදී පාරේ සිටි ගැහැනියක්‌ ඇද සිපගත් අවස්ථාව දැක්වෙන මේ ඡයාරූපය දැනට ලෝකයේ ප්‍රසිද්ධම සිප ගැනීම ලෙස සැලකෙනවා. 

නමුත් යම් හෙයකින් මෙවැනි දෙයක් ශ්‍රී ලංකාවේ සිදු වුනා නම් මේ දකින පුද්ගලයින් විසින් තවත් එක "අසභ්‍ය දර්ශනයක්" ලෙස වර්ග කරනවා නොඅනුමානයි.

යුරෝපීය රටවල් තුල (ඒ රටවල් වල අපරාධ අනුපාතිකය ශ්‍රී ලංකාවට වඩා අඩු බව කරුණාවෙන් සලකන්න) ප්‍රසිද්ධියේ සිප ගැනීම පවා වරදක් ලෙස නොසලකන අතරේ (ඊට වඩා අපරාධ අනුපාතිකය වැඩි) ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකේය සභ්‍යත්වය තුල පෙම්වතුන් යුවලක් ලංවී සිටීම පවා වරදක් ලෙස සලකනවා. පාසල් ඇඳුමෙන් සැරසුන පෙම් යුවලක් දුටු තැන අපරාධකරුවන් ලෙස මෙන් එළවා ගොස් අල්ලන්නේ, තවත් ඊට වැඩි අපරාධයක් ලංකාවේ නැති ගානටයි. 

මට හිතෙන විදියට...

පෙම්වතුන්ට උද්‍යාන තහනම් කලාප බවට පත් කරන්නේ නම්, ගාලු මුවදොරින් එළවා දමන්නේ නම් ඔවුන්ට ලබා දෙන එකම විකල්පය හෝටල් කාමරද...?? එය ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රතිශතය අඩු කිරීමට ඉවහල් වේ යයි සිතීමට කිසිම සාක්ෂියක් නැහැ. මිනිසුන්ගේ සිතිවිලි වලට වැට කඩුලු දමන්නේ නම් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අරබයා බලය පතුරවන්නේ නම් එය රටක සභ්‍යත්වයේ ප්‍රගමනයට කිසිම අකාරයකින් දායක වෙන්නෙත් නැහැ.

මේ ආකාරයට ගියොත්....

කරුණාරත්න දිවුල්ගනේ මහතා ගැයූ "ආදරය සුන්දර වරදකි" ගීතය මේ ආකාරයට වහාම වෙනස් කරන්නට සිදු වෙනවා.

"ආදරය බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලැබිය හැකි වරදකි"





Thursday, March 15, 2012

ඔන්න ඉතින් අපේ රටේ කට්ටියක් ඇමෙරිකන් නිෂ්පාදන තහනම් කරලු....

විමල් වීරවංශ මහත්තයාගේ ඒ කතාව අහපු වෙලේ ඉඳං මට එක එක දේවල් කල්පනා වෙන්න ගත්තා. (කතාව අහල නැත්තම් මෙතනින් ශේප් එකේ කියවන්න පුලුවන්.  http://www.ceylontoday.lk/27-3464-news-detail-boycott-us-products-wimal.html )
බොහොම අමාරුවෙන් හිතට ට්‍රැෆික් ලයිට් දාගෙන හිතිවිලි මේ විදියට පිළිවෙලකට පෙලගස්සන්න මට හිතුනා. 

මේ තමා මගේ හිතට ආව උභතෝකෝටික ප්‍රශ්න.

1.ඉතින් අපි American Products නැවත්තුවම ඇමෙරිකාවට පාඩු වෙයිද?
2.Google නවත්තලා අපි Yahoo වගේ දේශීය Search engine එකක් පාවිච්චි කරනවද?
3.Gmail වෙනුවට හැමෝටම ආණ්ඩුව ගානේ Email Accounts හදල දෙනවද?
4.Coca cola වෙනුවට කොත්තමල්ලි වගේ දෙයක් උත්සව අවස්ථා වලට ගන්නවද?
5.තව අපි IMF ඒකෙන් දෙන සල්ලිත් එපා කියනවද?
6.Prima පිටිත් තහනම් කරනවද?(කිරිපිටිත් ඕනෙම නෑ)
7.තව Shell, Caltex වගේ ඒවත් නවත්තනවද?
8.Microsoft, Apple, Linux වගේ ඇමරිකානු නිෂ්පාදන භාවිතයෙනුත් වලකිනවද?
9.ඇමතිවරුන්ගේ ඇමරිකන් වාහන ආපහු ඇමෙරිකාවට යවනවද?
10.එතකොට අපි පාවිච්චි කරන්නේ මොනවද?
11.අමෙරිකාවෙන් ලැබෙන විදේශ විනිමය මුහුදට දානවද?
12.KFC, McDonald's වලින් ගෙවන බදු එපා කියනවද?
13.සමුළුවට අනුග්‍රහය දක්වන්නේ නෝර්වේ හින්ද අපි නෝර්වේ විනිමයත් විසිකරනවද?
14.ඇමෙරිකාව අපිට එපාම හින්ද ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කඩේ දානවද?
15.මේ ටීක්‌ කතාව කියනවට මහින්ද, විමල් ට කීයක්‌ දුන්නද?

හොඳයි... අපි මේ ටීක්‌ වැඩේ කරාමයි කියමුකෝ... එතකොට ස්වාධීන රූපවාහිනියෙයි, ස්වර්ණවාහිනියෙයි, ජාතික රූපවාහිනියෙයි මේ වගේ ප්‍රවෘත්ති යයිද කියලත් හිතෙනවා...

1."ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු භාණ්ඩ තහනම් කිරීමෙන් ඇමෙරිකාව උග්‍ර ආර්ථික අර්බුදයක!"
2."Google සමාගමට යන එන මං නැතිවෙයි!"
3."ශ්‍රී ලංකාවට ආර්ථික වසන්තය උදා වෙයි!" (එහෙම කියල විමල්ගෙයි,මහින්දගෙයි ලස්සන මූණු දෙක දානව)
4."Barack Obama ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි!"
5."ශ්‍රී ලාංකිකයෝ දේශප්‍රේමයෙන් මත්වී දේශීය නිෂ්පාදනයට අත දෙති!"(එහෙම කියල ජනතාව දේශීය      නිෂ්පාදන පාවිච්චි කරන හැටි පෙන්නනවා)

හරි!! අපේ රටේ දේශප්‍රේමී ඇමතිවරුන්ගේ මේ වගේ කතා ඇහිලා ඇමෙරිකාව ලංකාවේ භාණ්ඩ වර්ජනය කරා කියමුකෝ. ඇමෙරිකාවෙන් දුන්න ණය ආපහු ඉල්ලුවා කියමුකෝ. එතකොට ඔය හැකර කටවල් වැහිලා ඇමෙරිකාවට නොවඳිනා වැඳුම් වඳින්න ගනී. රාජ්‍ය තාන්ත්‍රික භාවය ගෑවිලා වත් නැති, මිනිස්සුන්ගේ චන්ද ටික කඩා ගන්න විතරක් බලන ඉන්න මේ ආණ්ඩුව මේ රටේ ගැලරියට 2.50 හේ කතා කියල ජිනීවා ගිහින් බලු කුක්කෝ වගේ හා හොඳයි කියල විතරක් එනවා.

මේ වගේ ටීක්‌ කතා කියන දේශප්‍රේමී ඇමතිවරුන්ගෙන් මේ රටේ ප්‍රතිරූපයට වෙන හානිය නවත්තල දෙන්න කියල මේ රට ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා හිටින එක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.

Thursday, January 12, 2012

ධවල ආමාශ නම් කොටළු දා වත.

...යටගිය දවස ලංකාද්වීපයෙහි කොලොම්පුර ව්‍යවස්ථාදායකයේ ද්වි භාග ත්‍රි මණ්ඩල තේජෝ බලැති මිහිඳු නම් රජ්ජුරු කෙනෙකුන් සෙමෙන් රාජ්‍ය කරන කල්හි එම ද්වීපයේ නුදුරු වන රේඛාව අභිමුව ධවල ආමාශ නම් වූ කොටළුවාණ කෙනෙකුන් අගල පිට කා ඇවිදින සේක. හෙතෙමේ අනෙක් කොටළුවන් තරමට නූඋස් වූ බැවින් තෙල වෘක්ෂයන්හි සතර අඩියකට වඩා ඉහළින් වන ඵලාඵලක්, මලක්, කොලක් අනුභව කරගත නොහී ඒ දිහා බලන බලන ඇසිල්ලේ සුසුම් ලමින් කෙළ තොලන්නේය.  මෙසේ අඩ සායෙන් යුතුව ලෑටි ගාමින් ඇවිදින බඩජාරි තෙනැත්තෝ වරෙක ඒ සාවියේ සියලු තෘණ පත් කා නිම කරන ලද්දේ ඒ ඉසව්වේ වන සාවුන්ගේ අඩවියට පැන උඳුපියලිය ද ලොවන්නට පටන් ගත්තාහු කෙසේද යත්, ඇඹුල උපුල මල වනයට කඩා වැටුන ගොම රිට්ටක් සේ දිස්වන පරිද්දෙනි.

        සා පුරයේ උඳුපියලිය වනයට කඩා වැදුන කොටලුවාණෝ තෙල් ගබඩා සැල් බඳුවූ ස්වකීය ආමාශය, සසර මහා මුහුද පුරවන තරම් වූ උදුපියලිය කදම්භයකින් සන්තර්පණය කලෝ "මේ නම් මා වැනි උතුම් කොටළුවන්ගේ ආශ්චර්යමත් තුසිතය යැයි" ඒත්තු ගත් නියා ප්‍රදර්ශනය කරමිනි. 

එකල්හි, "මේ නම් අප නැසීමට පැමිණි මහත් වූ ව්‍යසනයකැ" යි අවබෝධ කර ගත් සා ගනා මේ උපද්‍රවය පිටු දකිනු වස් සංවිධානය විය යුතු යැයි තීරණය කර රැස්වීමක් කැඳ වුහ. මේ අවස්ථාවේදී රැස්ව සිටි සා ගනා අතරින් නැගී සිටි එක් තරුණු සාවෙක් "මේ බෙලහීන කොටළුවා නම් එක් අයෙකි. එහෙත් මේ මුළු සතර දිග භාගයේ වෙසෙන අප සාවෝ නම් ගණනින් අසංඛේය වෙයි. එබැවින් බිය නොගෙන සාවුන්ගේ ක්ෂේම භුමියේ පුරාතනයන්ගේ නාමයෙන් මූ හට පහර දී මරා දමමු" යි යෝජනා කළේය. ඒ කල්හි රැස්ව සිටි තුරුණු සාවෝ ඒ අනුමත කරමින් ජයඝෝෂ නගන්නට වුයේ "දැන්ම ගොස් මූ හට අඩන්තේට්ටම් කර තලා දමමු" යි කියමිනි. කරුණු කාරනා මේ මුග්ධ කොටළුවා පෙලා දමන්නට ඒ අයුරින් යෙදෙන විට නැගී සිටි එක් තලත්තෑනි සාවෙක් පවසත්, "මේ මුග්ධයා මරා දැමුවත් ඒ තැන ගැනීමට තවත් කොටළුවෝ සියක් ගණනක් කොලොම්පුර අසබඩ සිටිති. එසේ හෙයින්, මූ මරා දැමීමෙන් අප හට වන සෙතක් නැත. ඒ වෙනුවට ඊට ප්‍රථමයෙන් මුට කරුණු පහදා දී අපේ මුතුන් මිත්තන්ගේ ක්ෂේම භුමිය බේරා ගැනීමට කටයුතු කරමු"ය.

රැස්ව සිටි සා පර්ශදයම පාහේ එම සාවාගේ ප්‍රකාශය අනුමත කළෙන් පෙළපාලියක් සෑදුන සාවෝ කොටළුවා විසින් උලා කා එළිකරන ලද හතරැස් සත් ගව්වක භුමිය අසලට රැස් වී කොටළුවා හට ඇසෙන සේ මහා හඬින් කරුණු පහදන්නට වුහ. එහෙත් මුග්ධ කොටළු තෙමේ සිතනුයේ, "මේ රියනක් උස නැති ලොමින් ගහන සත්වයෝ මැ වැනි තෙදවත් කොටළුවාණ කෙනෙක් හට කුමක් කෙරේද? මුන් කැ ගසා අධෛර්යයට පත්ව මෙතනින් පිටව ගිය පසු මා හට ඉතිරි රසවත් තෘණ පත් ද තනිවම බුදීමට හැකි නොවේද?" යනුවෙනි. බොහෝ වෙලාවක් ඉක්ම ගිය මතුද සාවෝ ඉවත්වන බවක් නොපෙනුනෙන් කුපිත වූ කොටළු තෙම තමා කවුරුන්දැයි අමතකව පරුෂ වදනින් බෙනෙමින්, සාවන් අභිමුඛයට පැන කුරයෙන් මතු නොව සෙවෙල වැගිරෙන හොම්බෙන්ද සාවන් හට තලන්නට පටන් ගත්තේය.

මෙහිදී, පෙර නැගිටි තරුණ සාවා නැගී සිට, "මිතුරෙනි, මේ අපේ වෙලාවයි. මේ උමතු කොටළුවා තමා කවුරුන්දැයි අමතකව මුග්ධ ආකාරයෙන් හැසිරෙයි. වහාම මූ මරා දමමු" යි යෝජනා කළේය. ඒ ඇසිල්ලෙහි නැගී සිටි සාවෝ මෙතෙක් වේලා රැකගෙන හුන් විනය අතහැර දමා කොටළුවා පිටට පැන පහර දී ඌ මරා දැමුහ.

                                   .::::::ධවල ආමාශ නම් කොටළු දා වත මින් සමාප්තයි::::::.




මේ කතාව ලියන්න නිමිත්ත වුනේ රුහුණු සරසවි ශිෂ්‍යයන්ගේ සාමකාමී පාගමනක් පොලිසිය විසින් කඳුළු ගෑස්  හා බැටන් පොලු පහර එල්ල කරලා මර්ධනය කරා කියන පුවතයි. පූර්වාපර සන්ධි ගලපගෙන ඒ වගේ මුග්ධ ක්‍රියාමාර්ග වල අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි නිගමනය කිරීම ඔබ සතු කාර්යයක්.


Wednesday, January 11, 2012

නාටු හස්ථි දා වත 1.


            ...යටගිය දවස ශ්‍රීලංකාද්වීපයෙහි කොලොම්පුර ව්‍යවස්ථාදායකයේ ද්වි භාග  ත්‍රිමණ්ඩල තේජෝ බලැති විධායක රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය විචාරන සමයෙහි නෂ්ඨ වී ගිය පුරුෂ බල ඇත්තාවූ නාටු ජරපත් හස්තීන් කෙනෙකුන් කල්‍යාණි නදී ඉවුරුබද ග්‍රාමයෙහි ඉබාගාතේ සැරිසරන්නාහුය. මෙසේ අයාලේ යන ඌ තොමෝ, තුමුගේම රෞද්‍ර පරවශ හැසිරීම් නිසා වනසත්වයන්ගේ නිරන්තර ආක්‍රෝෂ පරිභවයට ලක්වන්නාහු වනය තුලට වැදීගත නොහෙනිව අබවස තෙලඹු ගසක් යට දිවි ගෙවන්නාහ. ඒ දනව්වේ වර්ෂා සමයෙහි තල් ඇට සා ඩෙංගු මක්ෂිකා ජාතියක් බෙහෙව.  එසේ හෙයින් දනව් වැසියෝ වර්ෂා සමයෙහි කුණු කාණු, පොල් කටු සුද්ධ කරවාලා නදී තෙර වලක් කැනවාලා එහි හෙලන්නාහ. මේ දකින මෑලි හස්තියෝ  නිතර සිතන්නාහු කෙසේද යත්, “මා මෙසේ බෝ වෑරි යාමට හේතු වන්නෝ මේ දනව් වැසියෝමය. මුන්ගේ කසල වලෙහි වර්ෂා සමයට අනන්තාපර්යන්ත ඩෙංගු මක්ෂිකාවෝ බෝ වී මාගේ සප්ත කන්‍යා පර්වත පෙළ බඳු වූ කොඳු ඇට පෙළෙහි සිදුරු සාදා කණ්ඩුල පෙළපතෙහි සාරය ඉවත් කරති. එබැවින් මා නිරන්තර ව්‍යාධීන් වලට ගෝචර වී ක්ෂය වී යයි.”
             
            මෙසේ සිතන මුග්ධ අලි තෙමේ, නිමේශයකට හෝ මනුෂ්‍යයෙක් දක්නා තෙක් නොයිවසිල්ලෙන් මැඩ වී සිටියෝ කිමද යත් පෙර කී තෙලඹු ගසෙහි උගේ අතපය හොවා බැඳ නකුටෙන් තලා පලි ගන්න රිසියෙනි. වැසි සමය නිමවී මසක් යෙල මසක් ඉක්ම ගිය ඇසිල්ලෙහි නියං සමය එළඹෙන බැවීන් කිසිදු  මනුෂ්‍යයෙකු ඒ සාවියෙහි නොදැක සිටීමට නාටු අලියෝ හට හේතෝත්පාදක විය. එසේ හෙයින් නියං සමයේ භස්ම ප්‍රච්චන්න ජාතවේදයක් සේ ක්‍රෝධයෙන් වෙවුලුම් ගනිමින් දිවි ගෙවූ ඌ තුමු තවද නාටු වූයේ, මනා කොට නොසොයාලු ගෙය මහා වැස්සක් වට විගස තෙමි ගියාද ඒ පරිද්දෙනි. එකල්හි ඒ අඥාන වූ හස්ති තොමෝ ඊළඟ වැසි සමය එළඹෙන තෙක් සමයෙහි ඩෙංගු මක්ෂිකාවා හා මිනිස් ජාතිය කෙරේ වෛරයෙන් යුතුව කල්‍යාණි පුරවරයේ පෑලියගොඩ ඉසව්වේ සරිසරන්නාහ. ඉක්බිත්තෙන් වැසි සමය එළඹුනාහ. එම කලහිදීම අටවක චන්ද්‍රයාද මෝදු වන්නට කාරණා යෙදුනු හෙයින් ජරපත් හස්තියාගේ මද කිපෙන සමය අනුපිළිවෙලින් ඒ ඔස්සේ තුන්වෙනුව ස්ථානගත විය.පසළොස්වක චන්ද්‍රයා මෝදු වූ ඇසිල්ලෙහි මද කිපුණ අලි තොමෝ ඉදිරියට ප්‍රාදුර්භූත වුවෝ කල්‍යාණි පුරවර ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ නියුතු පව්කාර මනුෂ්‍යයෝ කෙනෙකි. ස්වකීය සිතෙහි එතෙක් පැසවාලු ක්‍රෝධය පහකරගනු වස් මූඪ හස්තියා විසින් ඔහුගේ දෑත පිටිකර තෙලඹු ගසට හොවා බැඳ ස්වකීය වෑරුණ පශ්චාත් භාගය ඔහුගේ මුහුණට යොමා මවිල් ගැලවුන නකුටෙන් තලන්නට විය...

ඉහත යෙදුනා වූ වදන්හි තේරුම නොදන්නා වූ පර්ශාදීන් උදෙසා මෙසේ විවරණ කරන වග නම්...


ව්‍යවස්ථාදායකයේ ද්වි භාග  ත්‍රිමණ්ඩල - පාර්ලිමේන්තුවේ 2/3 ක පිරිස
අබවස - එළිමහන් ස්ථානය
මක්ෂිකා - මදුරුවෝ
දනව්ව , සාවිය - ප්‍රදේශය
කැනවාලා - හාරලා
ආක්‍රෝෂ පරිභවයට - ඇනුම් බැනුම් වලට
වෑරි - කෙට්ටු
අනන්තාපර්යන්ත - අනන්ත අපරිමාණ
කණ්ඩුල - දුටුගැමුණු රජුගේ ඇතාගේ නම
භස්ම ප්‍රච්චන්න ජාතවේදයක් - අළු යට සැඟවුන ගිනි පුපුරක්
ප්‍රාදුර්භූත - පෙනී සිටීම
පිටිකර - පිටුපසට කර

ප.ලි - හොඳට දෙතුන් පාරක් කියවලා බලලා තොප්පිය හරි කෙනාට දාන එකයි තියෙන්නේ.  "නාටු හස්ථි දා වත 2" ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Friday, December 30, 2011

කැම්පස් එක ඇතුලේ මොකද උනේ...???

 
පවුරු වළල්ල පටන් ගත්තේ කවි ලියන්න විතරක් නෙවෙයි. මම දකින දේශපාලන හා සමාජීය වටපිටාව ගැනත් ලියන්න. ඇත්තටම මේක අපේ කැම්පස් එකේ වුන සිදුවීමක්. නමුත් අපි හිතුවේ පිට මිනිස්සු මේවා ගැන අවධානය යොමු කරන්න කිසිම නැඹුරු තාවයක් නොදක්වපු හින්ද ඒ ගැන වැඩි සද්දයක් දාන්න ඕනේ නෑ කියල. නමුත් අපි නොදන්නවා උනාට මේ ගැන නොයෙක් අභූත දූසමාන ආරංචි වෙබ් වල ගිහින් තියෙනවා. මිනිස්සු බොරු දැනගන්නවට වඩා ඇත්ත දැනගන්න එක හොඳ හින්ද මේ විදියට ලියන්න හිතුවේ.ඇත්තටම මම දැන් දුක් වෙනවා මම මේ ගැන මීට කලින් බ්ලොග් නොකරපු එක ගැන.
         
           මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ  පළමු වසරේ සිසුවෙක් විදියට මම සප්තම්බර් මාසේ 3 වැනිදා ඇතුලත් වෙද්දී රැග් එක ගැන කිසිම බයකින් නෙවේ මම ඇතුලත් වුනේ. අදටත් මම විශ්වාස කරනවා අපේ වී.විද්‍යාලෙට ඇතුල් වෙන කිසිම කෙනෙක් රැග් එක ගැන බය වෙන්න ඕනේ නෑ කියල. අපි ඇතුලත් වෙන දවසේ අපේ සීනියර් අයියල අක්කල අපිව ඇත්තටම ආදරෙන් පිළිගත්තා. ඒක අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා අපිට මූනිච්චාවට පෙන්නන කුහක ආදරේ වගේ එකක් හෙම නෙවේ. හදවතින්ම අපි අපේ නංගිලා මල්ලිලට කරන ආදරේ වගේ එකක්. පළවෙනිම දවසේ අපිව සීත ගඟුල නොහොත් වී.වී. යේ බුදු පිළිමය ගාවට එක්ක ගිහින් වන්දනා කෙරෙව්වා. ඒ කරේ එතන අන්‍යාගමික ශිෂ්‍යයන්ට කැමති නම්  ඉවත් වෙන්න කියල. එහෙම නැතුව කොල්ලෝ බල්ලෝ හැමෝම හමුදා මුලස්ථානයේ පුහුණුවට යාම අනිවාර්ය කරා වගේ දරදඬු විදියට හෙම නෙවෙයි.
          පහුවදා  කණ්ඩායම් වශයෙන් හැමෝවම පුස්තකාලෙට සහ මෙඩිකල් සෙන්ටර් එකට එක්ක ගියා. තව වී.වී. වටේ රවූමක්‌ එක්කන් ගියා. එක කෙරෙව්වේ අපේ සීනියර්ස්ල මිසක් උසස් අධ්‍යාපන ඇමතිතුමවත් අන්තිමට අපේ අයියල අක්කලාගේ පන්ති තහනම් කරපු වී.වී. පරිපාලනයේ ලොක්කෝවත්  නෙවෙයි. ඒ වගේම අපිට අධ්‍යාපන කටයුතු වලදීත් බාහිර වැඩ වලදීත් සැහෙන්න උදවු කරේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ම තමයි.

 මම මේ ඔක්කොම දේවල් කියල ප්‍රවේශය ගත්තේ වී.වී යේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ කියන්නේ නවකයන්ව රැග් කරන්න බලන ඉන්න අපතයෝ රැලක් කියල සමාජගත වෙලා තියෙන මතය මේක කියවන අයගේවත් හිතින් මකල දාන්න ඕනේ හින්දා සහ මම මේ කියන්න යන කතාවට මේ සිදුවීම් වැදගත් වෙන හින්ද. 

මම මුලින්ම කිව්වා වගේ අපේ අයියලා අක්කලා අපිට තමන්ගේම මල්ලිලා නංගිලට වගේ ආදරේ කර කියන කතාව ශ්‍රී ලංකේය සමස්ත වී.වී. පද්ධතිය තුල වී.වී සම්ප්‍රදායන් පවතින තාක් කල දුරට වලංගුයි. (ඒක නැති කරන්න නම් මේ වී.වී පද්ධතිය මකල මුල ඉඳල හදන්න ඕනේ. වර්තමානයේ කරන්න යන්නෙත් ඒකම තමා).
          දැන් මම මේ කතාවේ අන්තිම කොටසට ලඟා වෙනවා. 

          අපි මාස 2-3 ක් අයියල අක්කල එක්ක කිසිම අවුලක් නැතුව ඉද්දි හෙන ගැහුවා වගේ කතාවක් අපිට අහන්න ලැබුන. ඒ තමයි ශිෂ්‍යයන් 13 දෙනෙක්ට වී.වී සීමාව තහනම් කරලයි කියන එක. ඒ අතරට අපේ වැඩිමහල් ශිෂ්‍යයන් 12 දෙනෙක් හා අපේ වසරේ ශිෂ්‍යයෙකුත් ඇතුලත් වුනා. නවක ශිෂ්‍යයන් වශයෙන් අපව නවක වදයට භාජනය කිරීම හා එයට අනුබල දීමේ චෝදනාව යටතේ ඔවුන් වරදකරුවන් කර තිබුනා. නමුත් නවක වදය ලෙසට අර්ථ දැක්විය හැකි කිසිදු සිදුවීමක් තොරතුරු තාක්ෂණ පීඨයේ සිදු නොවුණු බවට අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

එහෙම නම් අනිවාර්යයෙන්ම ඔබ මේ සිද්ධියේදී අසාධාරණයට ලක්වුන ශිෂ්‍යන්ගේ පැත්ත ගත යුතුයි.

                මේ සිදුවීම අන්තර්ජාලය තුල lankaevision වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුනේ අපව අමානුෂික ලෙස වදහිංසා වලට නවක වදය යටතේ පත් කර තිබෙනවා කියලයි. ඒ වගේ දෙයක් සිදු වුනා නම් එයට එරෙහිව මුලින්ම නැගී සිටින්නේ අපේ වසරේ ශිෂ්‍යයනුයි. නමුත් අපි දැන් වගකීමෙන් යුතුව කියන්නේ ඒවගේ කිසිම දෙයක් අපේ පීඨයේ කිසිම සිසුවෙක්ට සිදු නොවුණු බවයි. ඒ හැරුණු විට gossip9 වෙබ් අඩවියත් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කර තිබුන. අන්තර්ජාලය තුල හෝ කුමන හෝ මාධ්‍යයක් තුල ප්‍රවෘතියක් වාර්තා කිරීමේදී තිබිය යුතු වගකීම් සහගත බව ඔවුන් විසින් මුළුමනින් ම අතහැර දමා තිබුනා. අපේ තොරතුරු තාක්ෂණ පීඨයේ කීර්ති නාමයට නිගා කරන මේ ප්‍රවෘතිය සම්පූර්ණ බොරුවක් බව එම පීඨයේ සිසුවන් වශයෙන් තරයේ ප්‍රකාශ කර සිටිනවා. යම් හෙයකින් මෙම සිදුවීමට අදාලව මෙවැනි අසත්‍ය ප්‍රචාර ඔබට අන්තර්ජාලය තුලදී හමු වුනොතින් එයට එරෙහිව කතා කරන්න පසුබට වෙන්න එපා.  ඒ වගේම අසාධාරණ විදියට පන්ති තහනමට ලක් උන අපේ අයියල අක්කල වෙනුවෙන් හඬක් නගන්න අපිත් ඕනෙම මොහොතක පැකිලෙන්නේ නෑ.


http://www.lankaevision.com/lankaevision/index.php?option=com_content&view=article&id=217%3A2011-12-28-15-38-59&catid=1%3Alatest-news&Itemid=50

Thursday, November 24, 2011

ආදරය අනුමාපනය කරා හොඳින් සොලවා...

මේකත් මම සිත සන්තොසින් උ.පෙළ කරන කාලේ ලිව්ව පැදි පෙළක්. මගෙ ඒ කාලේ ප්‍රියතම විෂය රසායන විද්‍යාව. අපේ උන් වැඩි හරියක් වෛර කරපුම විෂය! මාත් ටිකක් මඤ්ඤං ඩයල් එකක් හින්දම වෙන්නැති එහෙම උනේ. කොහොමින් කොහොම හරි මම ඒ දවස වල කෙල්ලත් එක්ක පොඩි වලියකුත් දාගෙන හිටියේ. ඉතින් එකෙක් ඇවිත් මට කියද්දී විද්‍යා සංගමේ අහවල් එකට ආටිකල් එකක් දීපන් කියල, මගෙ අතින් ලියවුනේ මේක තමා... හැබැයි මම බොක්කෙන්ම කියන්නන්, මේකේ 100%ක් අයිතිය මට නෑ. ඊට කලින් දවසක මම වෙන පොරකගේ chemistry පොතක් බලද්දී ඌ ලියල තිබුන අදහසක් තමා මම කවියක් කරේ!! ඌ ලියල තිබ්බේ "මම ජීවිතය අනුමාපනය කරා, කෝ මේකේ අන්ත ලක්ෂය??" කියල. මම ජීවිතය වෙනුවට ආදරය replace කරා. ඔන්න මම කාටත් පූර්වාපර සන්ධි ගලපගන්න මුල ඉඳන්ම කතාව කිව්වා...



කැකෑරුම් නලයක බහා,
ත.HNO3 දමා,
1/3 ක් වනතුරු නටවා,
ආදරය අනුමාපනය කරා හොඳින් සොලවා...


තුඩ  කැඩුණු බියුරෙට්ටුව,
ප්‍රසාරිත පිපෙට්ටුව,
ගෙන කලෙමි අනුමාපනය,
කෝ මේකේ අන්ත ලක්ෂය????

මල ඉලවු ආදරය,
කසිකබල් ජීවිතය,
අනුමාපනයට පෙරාතුව,
මුලින් දාපන් දර්ශකය...



ප.ලි. - මෙය ස්වයං දර්ශකයක් රහිත ප්‍රතික්‍රියාවකි. මෙවැනි අනුමාපන සිරාවට කිරීමට ප්‍රථමයෙන්, දල අනුමාපන 2-3 ක්වත සිදුකර අන්ත ලක්ෂය ගැන දල අදහසක් ලබා තිබිය යුතුයි.

ප.ප.ලි. - මම මේක 2 වෙනි වතාවටත්  ප්‍රසිද්ධියේ දාන්න හිතුවේ කෙල්ලත් එක්ක ආයෙත් වලියක් දාගත්තු හින්ද...