Sunday, October 5, 2014

කාටද ඔය පයින් ගහන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන්නේ අයිසේ, ප්‍රජාතන්ත්‍රවාදයට!


පාපන්දු ලෝක කුසලානය අවසන් වී දැන් මාස තුන හතරක්ම ගෙවී අවසානය. නේමාර්ගේ කොන්දත්, මෙසීගේ තරඟාවලියේ වීරයා කුසලානයත්, ජර්මනියේ ජයග්‍රහණයත් ලහි ලහියේ සේල් වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල එකසිය පනස්ගනන්වලිනුත් එහාට ගිය ලංකාවේ ඉන්න අපේ සමහර අයියලා එංගලන්තෙටත් බ්‍රසීලයටත් පාපන්දු ගැසීමට උගනන්වන ලොරි ටෝක් දුන් හැටි ද දැන් දැන් හැමෝගේ මතකයන්වලින් ද මැකී ගොසින් අවසන්ය. කසුන් ජයසුරිය, අමලීන්, ස්ටේන්වොල් වලින් ඔබ්බට ගිය ලංකාවේ පාපන්දුවක් මා නොදන්නා බැවින් උන් මට වඩා ගොඩාක් දන්නා බව සිතා මම ඒවා බලා පමණක් සතුටු වන්නට වූ නමුත්, උනුත් දන්නේ මන් දන්නා තරම්ම බව තේරුණු සැණින් ඒ ලොරි ටෝක් ලෝක කුසලානයට කොමඩි රිලීෆ් වී ගියේ පාපන්දු ලෝක කුසලානය ලංකාවට අවේනික වශයෙන් ලෝකලයිස් වීමක් සමගය. නමුත් පාපන්දු කෙසේවෙතත් පයින් ගහන එක ගැන අපි දන්නා ලබ්බක් නැති බව එහෙම්පිටින්ම බොරුවක් බව මට ඊයේ පෙරේදා තේරුම් ගියේ අහම්බෙන් මෙනි.


වාරියපොළ අක්කාගේ සිද්ධාන්තයේ උණු බහින්නටත් කලින් රත්නපුරේ බට්ටි සමාජ මාධ්‍යතුල වයිරල් වෙමින් තිබේ. මුලින්ම එම වීඩියෝව දකින විට කාන්තාවකගේ කෙස් වැටියෙන් අල්ලා, බිම දමා, වේවැලකින් පහරදෙන ගමන් පයින් ගැසීමට තරම් පොලිස් නිළධාරියෙක් අමානුෂික වූයේ කෙසේදැයි මට සිතාගන්නට බැරි විනි. ඔහුට එතරම් බලයක් ලැබීමටත්, ඔහු එසේ කරද්දී මුළු බස් නැවතුම්පලේ මිනිසුන් කටවල් අයාගෙන බලන් ඉන්නට පමණක් සීමා වීමටත් හේතුව කුමක්දැයි මට සිතාගන්නට බැරිවිනි. පසුව මට දැනගනීමට ලැබුනේ ඇය ගණිකාවක් බවත්, ඇයව අත්අඩංගුවට ගැනීමට තැත් කරද්දී සිදුවූ බහින් බස් වීමක් දුරදිග යාමකින් ඇති වූ කලබැගෑනියක් බවත්ය. ඇය ගණිකාවක් බව දැනගත් සැනින් අර මුලින් ඇය බිම වැටී දෙනෝදාහක් සෙනග මැද්දේ පහර කන හැටි දුටු විට මට ඇති වූ අනුකම්පාව මදක් තුනී වූ බව මම පවසන්නේ ලැජ්ජවෙනි. ඇය තෝරාගත් වෘත්තීයත් සමග අනුකම්පාව හා ගෞරවය සමාන්තර රේඛාවල ගමන් කරනා අවස්ථා ස්වල්ප වුනත් එසේ පහර කෑමට ලක්වීමටත්, එසේ වූ පසු මිනිසුන්ගේ අනුකම්පාව වත් නොලැබීමට තරම් ඇය අවාසනාවන්ත නොවිය යුතු බව වැටහීමත් සමග  මාගේ අනුකම්පාවෙ යම්කිසි තුනීවීමක් සිදුවීම ගැන මා කනගාටුවුනි.


ගණිකාවගේ අසරණ කමක් ගැන කඳුළු වගුරන්නටවත්, ඇයට සුදු හුණු ගෑමටවත් මට උවමනාවක් නැත. නමුත් ඇඟ විකුණා කෑවත් ඇයටත් අයිතිවන්නා වූ යම්කිසි ප්‍රජාතත්රවාදයක් මේ රටේ ඇත. යම් කිසි මානව හිමිකම්, මුලික අයිතිවාසිකම් කොටසක් ඇයටත් ඇත. කුමන හෝ වැරැද්දකට දඬුවම් ලැබීමට පෙර නිදහසට කාරණා කීමට අයිතියක් ඇත. සාදාරණ විනිශ්චයකට ඇයට අයිතියක් ඇත. ඒ මොන බයිලාවකින් වත් දැන් නම් වැඩක් නැත. ඒවා ජෙනරික් ය. ඕනෑම වරදකට ජෙනරික්ය. ඕනෑම මිනිහෙක්ට ජෙනරික්ය. බට්ටි ජෙනරික් කේස් එකක් නොවන්නීය. නමුත් ඇයද ජෙනරික් වන එක සංදිස්ථානයක් ඇත. ඇය ගැහැනියකි. පිරිමි පොලිස් නිලාධාරියෙකුට ඇයට පහරදීමට තිය ඇත තියන්නටවත් අයිතියක් නැත. බිම දමා පයින් ගැසීමට තියා, කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව බට්ටිව අත්අඩංගුවට ගැනීමට පවා ඔහුට හැකියාවක් නැත. නමුත් බට්ටි එසේ පහර කෑමකට ලක්වී අවසන්ය. ඇය කෙතරම් පාදඩ උනත්, ඇය කෙතරම් නස්කූනි උනත්, මුළු ලංකාවටම පොලිසියේ තරම බලාගැනීමටත්, සාමාන්‍ය ජනතාවට පොලිසියත් නීතියත් ප්‍රජාතත්‍රවාදය ගැන දෙවරක් සිතීමටත්, අපි වගේ ජෝබ්ල්ස් පොරවල් වලට ලිපි ලිවීමට ප්ලැට්ෆෝම් සදාදීමටත්, ඇය බිම වැටී, වේවලෙනුත් අතිනුත් පයිනුත් ගුටිකා හමාරය.


ඒ පළමු කොටසයි. දෙවෙනි කොටස වෙනුවෙන් බට්ටීත් පොලිස් නිලධාරියත් ඉවත්වී ගොස් ක්‍රිස් නෝනිසුත් සජින් වාස් ගුණවර්ධනත් වේදිකාවට පිවිසෙයි. බට්ටි නම් අපි නොදන්නා කොහෙවත් යන වේසියෙකි. නමුත් ක්‍රිස් නෝනිස් මහතා මීට වසරකට පෙර ජාතික වීරත්වයෙන් ලාංකීය ජනයා විසින් සලකූ, සුද්දන්ටද ඉංග්‍රීසි ඉගැන්වූ අසහාය රාජ්‍යතාන්ත්‍රිකකි. බට්ටි ඉන්සිග්නිෆික්න්ට් වන විට, ක්‍රිස් නෝනිස් මහින්ද රාජපක්ෂටත් වඩා සිග්නිෆිකන්ට්ය. ක්‍රිස් නෝනිස් නම් සුද්දා සෑදු විශ්ව ගම්මානයේ සුද්දාගේ මාළු සුද්දාගේ පිටේම තියා කැපු ශ්‍රී ලාංකීය නිර්භීතකමේ ප්‍රපංචයයි. ඔහුගේ වෘත්තියත් සමග සමාන්තරවම ගමන් කරන්නාවූ ගෞරවය ඔහුට නොඅඩුව ලැබෙයි. පොලිස් නිලධාරියාද ඉන්සිග්නිෆිකන්ට්ය. ඌ නිල ඇඳුම ඇදගත් සාමාන්‍ය රැන්ඩම් පොලිස් කාරයෙකි. නමුත් සජින් වාස් සිග්නිෆිකන්ට්ය. උගේ ගුණ වැයීම මා අමුතුවෙන් නොකළයුතු නමුත්, මිහින් ලංකා ගුවන් සමාගම බංකොලොත් වනතුරු එයින් මාටියා ගසා පෝසත් වී, අවසානයේ එම ගුවන් සමාගමේ CEO තනතුරෙන් නෙරපාදැමු අසහාය අංකූරා ඔහු බව මතක් කිරීමෙන් ඔහුගේ සිග්නිෆිකන්ස් එක කෙසේ දැයි ඔබට සිතාගත හැකි වනු ඇත. රත්නපුර නගර මධ්‍යයේ මහා දවල් සෙනග මැද කොහෙවත් යන වේසියෙක් කවුද පොලිස් කාරයෙක්ගෙන් පයින් පාරවල් කනවිට, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති වන ආසියාවේ හොඳම රාජ්‍යතාන්ත්‍රිකයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිස් නෝනිස් මහතා, මිහින් ලංකා එකෙන් පැන්නු සජින් වාස්ගෙන් රාත්‍රී බෝජන සංග්‍රහයකදී මහා රෑ ලංකාවම නිදනා විට පයින් පාරවල් කෑවේය. ක්‍රිස් නෝනිස් වැනි ලංකාවටම එකයි ජාතියේ උගත් නැණවත් ගෞරවනීය රාජ්‍යතාන්ත්‍රිකයෙක්ටත් බිම දාගෙන තඩි බාන්නට සජින් වාස්ලාට හැකි නම්, බට්ටිලාට බිම දාගෙන මොනවා නොකරන්න බැරි දැයි මට සිතිනි.


සිද්ධි දෙක සංසන්දනය කරද්දී මට වරක් අප්පච්චී කියූ කතාවක් මතක් විනි. අප්පාච්චී තමන්ගේ මිතුරු පොලිස් නිලධාරියෙක් සමග කොටුව දුම්රියපොළ පහු කරමින් ඇවිදිමින් සිටියේය. ඔවුන් දෙදෙනාට බෝක්කුවක් උඩ වාඩිවී විටක් කන පොලිස් රාලහාමි කෙනෙක්  මුණගැසිනි.රාලහාමි අප්පච්චිගේ මිතුරු නිලධාරියා දැක, සැලියුට් එකක් ගසා "සෑර්..." කීවේය. අප්පචිගේ මිතුරා රාළහාමිගෙන් මෙසේ විමසුවේය. "රාලහාමි, මොනාද ඔය කන්නේ?". රාලහාමි එක හෙළ "විටක් සෑර්.." කියා පිළිතුරු දුන්නේය. එවිට නිලධාරියා "විට නෙමේ අයිසේ, පොලිසිය කන්නේ! පොලිසිය!" කියා එතනින් නික්ම ගිය බව අප්පච්චි පැවසීය.


මට රත්නපුර බස් නැවතුම්පලේ පොලිස් නිලධාරියගෙනුත්, සජින් වාස්ගේනුත් අහන්නට තිබ්බෙන්නේ එවැනි ප්‍රශ්නයකි. "කාටද ඔය පයින් ගහන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන්නේ අයිසේ, ප්‍රජාතන්ත්‍රවාදයට." නමුත් ගණිකාවගේ සිට මහා බ්‍රිතාන්‍යයේ තානාපති දක්වා සමාජ මට්ටම් වල දෙකොන යා කල මේ දෙදෙනා අතරට මැදි වූ ලංකාවේ ජීවත්වන සියලු සමාජ මට්ටම් වල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදයට අද මරාත්, මරාගේ ආණ්ඩුවත්, ආණ්ඩුවේ බලය හිමි සියලු සාමාජීය පාර්ශවයිනුත් පයින් ගසා හමාරය. පයින් ගසා පමණක් නොනවතින උන් අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් සමග ෆුට්බෝල් ගසන්නේය. ඒ නිසා අපිත් යම් කිසි මට්ටමකට ෆුට්බෝල් ගැන යමක් කමක් දන්නෝ වෙමු. ප්‍රජාතන්ත්රවාදය රත්නපුර බස් නැවතුම්පලේ සිට එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය උන් නැවතී සිටි හෝටලයට යනකං බිම දිගේ රෝල් වන විට, අපිට සිදුවී ඇත්තේ බයිට් එකට ලංකාවේ ඉන්නා ෆුට්බෝල් කෝච්ලාගේ ස්ටේටස් බල බලා පාපන්දු ලෝක කුසලානය නැරඹීමටය. නේමාර්ගේ කොන්ද දැන් හොඳ ය. මෙසිට ඊළඟ ලෝක කුසලානය වන තුරු ක්‍රීඩා කිරීමට වයසත් හැකියාවත් ඇත. ජර්මානු කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන්ගෙන් පිරිපුන් නිසා, කුසලානය ආරක්ෂා කරගැනීමට 2018දී ඔවුන් සිහින දකිනු ඇත. අපේ ප්‍රජාතන්ත්‍රවාදය නම් තවම බිම ය.



-Written by Kumma

2 comments:

sarath said...

Harima apuruyi! Isthuthiyi!

Unknown said...

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

Post a Comment