Thursday, January 12, 2012

ධවල ආමාශ නම් කොටළු දා වත.

...යටගිය දවස ලංකාද්වීපයෙහි කොලොම්පුර ව්‍යවස්ථාදායකයේ ද්වි භාග ත්‍රි මණ්ඩල තේජෝ බලැති මිහිඳු නම් රජ්ජුරු කෙනෙකුන් සෙමෙන් රාජ්‍ය කරන කල්හි එම ද්වීපයේ නුදුරු වන රේඛාව අභිමුව ධවල ආමාශ නම් වූ කොටළුවාණ කෙනෙකුන් අගල පිට කා ඇවිදින සේක. හෙතෙමේ අනෙක් කොටළුවන් තරමට නූඋස් වූ බැවින් තෙල වෘක්ෂයන්හි සතර අඩියකට වඩා ඉහළින් වන ඵලාඵලක්, මලක්, කොලක් අනුභව කරගත නොහී ඒ දිහා බලන බලන ඇසිල්ලේ සුසුම් ලමින් කෙළ තොලන්නේය.  මෙසේ අඩ සායෙන් යුතුව ලෑටි ගාමින් ඇවිදින බඩජාරි තෙනැත්තෝ වරෙක ඒ සාවියේ සියලු තෘණ පත් කා නිම කරන ලද්දේ ඒ ඉසව්වේ වන සාවුන්ගේ අඩවියට පැන උඳුපියලිය ද ලොවන්නට පටන් ගත්තාහු කෙසේද යත්, ඇඹුල උපුල මල වනයට කඩා වැටුන ගොම රිට්ටක් සේ දිස්වන පරිද්දෙනි.

        සා පුරයේ උඳුපියලිය වනයට කඩා වැදුන කොටලුවාණෝ තෙල් ගබඩා සැල් බඳුවූ ස්වකීය ආමාශය, සසර මහා මුහුද පුරවන තරම් වූ උදුපියලිය කදම්භයකින් සන්තර්පණය කලෝ "මේ නම් මා වැනි උතුම් කොටළුවන්ගේ ආශ්චර්යමත් තුසිතය යැයි" ඒත්තු ගත් නියා ප්‍රදර්ශනය කරමිනි. 

එකල්හි, "මේ නම් අප නැසීමට පැමිණි මහත් වූ ව්‍යසනයකැ" යි අවබෝධ කර ගත් සා ගනා මේ උපද්‍රවය පිටු දකිනු වස් සංවිධානය විය යුතු යැයි තීරණය කර රැස්වීමක් කැඳ වුහ. මේ අවස්ථාවේදී රැස්ව සිටි සා ගනා අතරින් නැගී සිටි එක් තරුණු සාවෙක් "මේ බෙලහීන කොටළුවා නම් එක් අයෙකි. එහෙත් මේ මුළු සතර දිග භාගයේ වෙසෙන අප සාවෝ නම් ගණනින් අසංඛේය වෙයි. එබැවින් බිය නොගෙන සාවුන්ගේ ක්ෂේම භුමියේ පුරාතනයන්ගේ නාමයෙන් මූ හට පහර දී මරා දමමු" යි යෝජනා කළේය. ඒ කල්හි රැස්ව සිටි තුරුණු සාවෝ ඒ අනුමත කරමින් ජයඝෝෂ නගන්නට වුයේ "දැන්ම ගොස් මූ හට අඩන්තේට්ටම් කර තලා දමමු" යි කියමිනි. කරුණු කාරනා මේ මුග්ධ කොටළුවා පෙලා දමන්නට ඒ අයුරින් යෙදෙන විට නැගී සිටි එක් තලත්තෑනි සාවෙක් පවසත්, "මේ මුග්ධයා මරා දැමුවත් ඒ තැන ගැනීමට තවත් කොටළුවෝ සියක් ගණනක් කොලොම්පුර අසබඩ සිටිති. එසේ හෙයින්, මූ මරා දැමීමෙන් අප හට වන සෙතක් නැත. ඒ වෙනුවට ඊට ප්‍රථමයෙන් මුට කරුණු පහදා දී අපේ මුතුන් මිත්තන්ගේ ක්ෂේම භුමිය බේරා ගැනීමට කටයුතු කරමු"ය.

රැස්ව සිටි සා පර්ශදයම පාහේ එම සාවාගේ ප්‍රකාශය අනුමත කළෙන් පෙළපාලියක් සෑදුන සාවෝ කොටළුවා විසින් උලා කා එළිකරන ලද හතරැස් සත් ගව්වක භුමිය අසලට රැස් වී කොටළුවා හට ඇසෙන සේ මහා හඬින් කරුණු පහදන්නට වුහ. එහෙත් මුග්ධ කොටළු තෙමේ සිතනුයේ, "මේ රියනක් උස නැති ලොමින් ගහන සත්වයෝ මැ වැනි තෙදවත් කොටළුවාණ කෙනෙක් හට කුමක් කෙරේද? මුන් කැ ගසා අධෛර්යයට පත්ව මෙතනින් පිටව ගිය පසු මා හට ඉතිරි රසවත් තෘණ පත් ද තනිවම බුදීමට හැකි නොවේද?" යනුවෙනි. බොහෝ වෙලාවක් ඉක්ම ගිය මතුද සාවෝ ඉවත්වන බවක් නොපෙනුනෙන් කුපිත වූ කොටළු තෙම තමා කවුරුන්දැයි අමතකව පරුෂ වදනින් බෙනෙමින්, සාවන් අභිමුඛයට පැන කුරයෙන් මතු නොව සෙවෙල වැගිරෙන හොම්බෙන්ද සාවන් හට තලන්නට පටන් ගත්තේය.

මෙහිදී, පෙර නැගිටි තරුණ සාවා නැගී සිට, "මිතුරෙනි, මේ අපේ වෙලාවයි. මේ උමතු කොටළුවා තමා කවුරුන්දැයි අමතකව මුග්ධ ආකාරයෙන් හැසිරෙයි. වහාම මූ මරා දමමු" යි යෝජනා කළේය. ඒ ඇසිල්ලෙහි නැගී සිටි සාවෝ මෙතෙක් වේලා රැකගෙන හුන් විනය අතහැර දමා කොටළුවා පිටට පැන පහර දී ඌ මරා දැමුහ.

                                   .::::::ධවල ආමාශ නම් කොටළු දා වත මින් සමාප්තයි::::::.




මේ කතාව ලියන්න නිමිත්ත වුනේ රුහුණු සරසවි ශිෂ්‍යයන්ගේ සාමකාමී පාගමනක් පොලිසිය විසින් කඳුළු ගෑස්  හා බැටන් පොලු පහර එල්ල කරලා මර්ධනය කරා කියන පුවතයි. පූර්වාපර සන්ධි ගලපගෙන ඒ වගේ මුග්ධ ක්‍රියාමාර්ග වල අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි නිගමනය කිරීම ඔබ සතු කාර්යයක්.


Wednesday, January 11, 2012

නාටු හස්ථි දා වත 1.


            ...යටගිය දවස ශ්‍රීලංකාද්වීපයෙහි කොලොම්පුර ව්‍යවස්ථාදායකයේ ද්වි භාග  ත්‍රිමණ්ඩල තේජෝ බලැති විධායක රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය විචාරන සමයෙහි නෂ්ඨ වී ගිය පුරුෂ බල ඇත්තාවූ නාටු ජරපත් හස්තීන් කෙනෙකුන් කල්‍යාණි නදී ඉවුරුබද ග්‍රාමයෙහි ඉබාගාතේ සැරිසරන්නාහුය. මෙසේ අයාලේ යන ඌ තොමෝ, තුමුගේම රෞද්‍ර පරවශ හැසිරීම් නිසා වනසත්වයන්ගේ නිරන්තර ආක්‍රෝෂ පරිභවයට ලක්වන්නාහු වනය තුලට වැදීගත නොහෙනිව අබවස තෙලඹු ගසක් යට දිවි ගෙවන්නාහ. ඒ දනව්වේ වර්ෂා සමයෙහි තල් ඇට සා ඩෙංගු මක්ෂිකා ජාතියක් බෙහෙව.  එසේ හෙයින් දනව් වැසියෝ වර්ෂා සමයෙහි කුණු කාණු, පොල් කටු සුද්ධ කරවාලා නදී තෙර වලක් කැනවාලා එහි හෙලන්නාහ. මේ දකින මෑලි හස්තියෝ  නිතර සිතන්නාහු කෙසේද යත්, “මා මෙසේ බෝ වෑරි යාමට හේතු වන්නෝ මේ දනව් වැසියෝමය. මුන්ගේ කසල වලෙහි වර්ෂා සමයට අනන්තාපර්යන්ත ඩෙංගු මක්ෂිකාවෝ බෝ වී මාගේ සප්ත කන්‍යා පර්වත පෙළ බඳු වූ කොඳු ඇට පෙළෙහි සිදුරු සාදා කණ්ඩුල පෙළපතෙහි සාරය ඉවත් කරති. එබැවින් මා නිරන්තර ව්‍යාධීන් වලට ගෝචර වී ක්ෂය වී යයි.”
             
            මෙසේ සිතන මුග්ධ අලි තෙමේ, නිමේශයකට හෝ මනුෂ්‍යයෙක් දක්නා තෙක් නොයිවසිල්ලෙන් මැඩ වී සිටියෝ කිමද යත් පෙර කී තෙලඹු ගසෙහි උගේ අතපය හොවා බැඳ නකුටෙන් තලා පලි ගන්න රිසියෙනි. වැසි සමය නිමවී මසක් යෙල මසක් ඉක්ම ගිය ඇසිල්ලෙහි නියං සමය එළඹෙන බැවීන් කිසිදු  මනුෂ්‍යයෙකු ඒ සාවියෙහි නොදැක සිටීමට නාටු අලියෝ හට හේතෝත්පාදක විය. එසේ හෙයින් නියං සමයේ භස්ම ප්‍රච්චන්න ජාතවේදයක් සේ ක්‍රෝධයෙන් වෙවුලුම් ගනිමින් දිවි ගෙවූ ඌ තුමු තවද නාටු වූයේ, මනා කොට නොසොයාලු ගෙය මහා වැස්සක් වට විගස තෙමි ගියාද ඒ පරිද්දෙනි. එකල්හි ඒ අඥාන වූ හස්ති තොමෝ ඊළඟ වැසි සමය එළඹෙන තෙක් සමයෙහි ඩෙංගු මක්ෂිකාවා හා මිනිස් ජාතිය කෙරේ වෛරයෙන් යුතුව කල්‍යාණි පුරවරයේ පෑලියගොඩ ඉසව්වේ සරිසරන්නාහ. ඉක්බිත්තෙන් වැසි සමය එළඹුනාහ. එම කලහිදීම අටවක චන්ද්‍රයාද මෝදු වන්නට කාරණා යෙදුනු හෙයින් ජරපත් හස්තියාගේ මද කිපෙන සමය අනුපිළිවෙලින් ඒ ඔස්සේ තුන්වෙනුව ස්ථානගත විය.පසළොස්වක චන්ද්‍රයා මෝදු වූ ඇසිල්ලෙහි මද කිපුණ අලි තොමෝ ඉදිරියට ප්‍රාදුර්භූත වුවෝ කල්‍යාණි පුරවර ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ නියුතු පව්කාර මනුෂ්‍යයෝ කෙනෙකි. ස්වකීය සිතෙහි එතෙක් පැසවාලු ක්‍රෝධය පහකරගනු වස් මූඪ හස්තියා විසින් ඔහුගේ දෑත පිටිකර තෙලඹු ගසට හොවා බැඳ ස්වකීය වෑරුණ පශ්චාත් භාගය ඔහුගේ මුහුණට යොමා මවිල් ගැලවුන නකුටෙන් තලන්නට විය...

ඉහත යෙදුනා වූ වදන්හි තේරුම නොදන්නා වූ පර්ශාදීන් උදෙසා මෙසේ විවරණ කරන වග නම්...


ව්‍යවස්ථාදායකයේ ද්වි භාග  ත්‍රිමණ්ඩල - පාර්ලිමේන්තුවේ 2/3 ක පිරිස
අබවස - එළිමහන් ස්ථානය
මක්ෂිකා - මදුරුවෝ
දනව්ව , සාවිය - ප්‍රදේශය
කැනවාලා - හාරලා
ආක්‍රෝෂ පරිභවයට - ඇනුම් බැනුම් වලට
වෑරි - කෙට්ටු
අනන්තාපර්යන්ත - අනන්ත අපරිමාණ
කණ්ඩුල - දුටුගැමුණු රජුගේ ඇතාගේ නම
භස්ම ප්‍රච්චන්න ජාතවේදයක් - අළු යට සැඟවුන ගිනි පුපුරක්
ප්‍රාදුර්භූත - පෙනී සිටීම
පිටිකර - පිටුපසට කර

ප.ලි - හොඳට දෙතුන් පාරක් කියවලා බලලා තොප්පිය හරි කෙනාට දාන එකයි තියෙන්නේ.  "නාටු හස්ථි දා වත 2" ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.